the-malambe-student-who-handed-over-ten-lakhs-of-money-forgotten-on-a-bus-to-the-owner

මාලබේ ආදර්ශ පිරිමි විදුහලේ එකොළහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු විසින් බස් රථයකදී අත්වැරදීමකින් තමන් අතට පත් වූ රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් සහිත ගමන් මල්ලක් එහි නියම අයිතිකාරිය වෙත යළි භාර දීමේ සුවිශේෂී පුවතක් වාර්තා වේ. මෙලෙස ආදර්ශවත් අයුරින් ක්‍රියා කර ඇත්තේ එම විද්‍යාලයේ 11 'ඊ' පන්තියේ අධ්‍යාපනය ලබන, දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අකිල දේශප්‍රිය නැමැති පාසල් සිසුවායි.




පසුගිය බ්‍රහස්පතින්දා දින උදෑසන මෙම සිසුවා සුපුරුදු පරිදි පාසල වෙත පැමිණීම සඳහා බස් රථයකට ගොඩවී ඇති අතර, එහි පැවති දැඩි තදබදය හේතුවෙන් තම පාසල් බෑගය අසුනක වාඩි වී සිටි පුද්ගලයෙකු අතට පත් කර ඇත. කෙසේ වෙතත්, ඔහු පාසල අසලින් බැසීමට සූදානම් වන අවස්ථාවේදී අදාළ පුද්ගලයා විසින් සිසුවා වෙත ලබා දී ඇත්තේ ඊට සමාන පැහැයකින් සහ හැඩයකින් යුත් වෙනත් ගමන් මල්ලකි.

එහි තිබූ සමානකම හේතුවෙන් වෙනසක් හඳුනා නොගත් අකිල සිසුවා අදාළ බෑගය ද රැගෙන පාසලට ගොස් ඇති අතර, පන්ති කාමරයේදී පොත්පත් ගැනීම සඳහා එය විවෘත කිරීමේදී ඒ තුළ වූ විශාල මුදල් නෝට්ටු ප්‍රමාණයක් දැක තිබේ. වහාම ක්‍රියාත්මක වූ මෙම සිසුවා මේ සම්බන්ධයෙන් පාසලේ සහකාර විදුහල්පතිනි ආශා චම්මි මහත්මියව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.




අනතුරුව සහකාර විදුහල්පතිනිය විසින් මෙම සිසුවා සහ අදාළ ගමන් මල්ල විදුහල්පති සිසිර ගුණරතන මහතා වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී බෑගය තුළ තිබී සොයාගත් බැංකු පොතක සඳහන් ගිණුම් අංකයක් උපයෝගී කරගනිමින් එහි හිමිකාරිය හඳුනාගැනීමට ඔවුන් සමත් වී තිබේ. ඉන්පසුව මාලබේ පොලීසියට ද මේ පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව, පොලීසියේ ද මැදිහත්වීම මත රුපියල් දස ලක්ෂ අනූපන් දහසක (1,095,000) මුදලක් සහිත එම බෑගය නියම අයිතිකාරිය වෙත සුරක්ෂිතව භාර දීමට කටයුතු කර ඇත.

මෙම මුදලේ නීත්‍යානුකූල හිමිකාරිය නුගේගොඩ ප්‍රදේශයේ ආයතනයක සේවය කරනු ලබන නිලධාරිනියක් බවට අනාවරණය විය. බස් රථයේ ගමන් ගත් ඇය ද එහි වූ සෙනඟ බහුලත්වය නිසා සිය ගමන් මල්ල මෙම සිසුවා බෑගය ලබා දුන් පුද්ගලයාටම ලබා දී ඇති අතර, බස් රථයෙන් බැස යාමේදී මෙම බෑග් මාරුවීම සිදුව ඇති බව වැඩිදුරටත් තහවුරු වී තිබේ.



මෙම මහඟු සහ අවංක ක්‍රියාව සම්බන්ධයෙන් මාලබේ පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කලුවිතාරණ මහතා, මාලබේ ආදර්ශ පිරිමි විදුහලේ විදුහල්පති සිසිර ගුණරත්න මහතා ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලය විසින් අකිල දේශප්‍රිය සිසුවා වෙත සිය ඉහළම ඇගයීම ප්‍රකාශ කර ඇත.

the-malambe-student-who-handed-over-ten-lakhs-of-money-forgotten-on-a-bus-to-the-owner

the-malambe-student-who-handed-over-ten-lakhs-of-money-forgotten-on-a-bus-to-the-owner