නෝර්වේ රාජ්‍යයේ මෙටේ-මාරිට් කිරුළ හිමි කුමරිය (Crown Princess Mette-Marit), ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටීන් (Jeffrey Epstein) සමඟ පැවැත්වූ සබඳතා පිළිබඳව පැහැදිලි කෙරෙන විශේෂ රූපවාහිනී සාකච්ඡාවක් සිකුරාදා දින එරට NRK නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතව තිබේ. ඇයගේ පුත්‍රයා වන මාරියස් බෝර්ග් හෝයිබි (Marius Borg Høiby) ට එරෙහිව ඔස්ලෝ දිස්ත්‍රික් උසාවියේ පැවති ස්ත්‍රී දූෂණ නඩුව අවසන් අදියරට පැමිණීමත් සමඟ, බ්‍රහස්පතින්දා දින ඔවුන්ගේ නිල නිවස වන ස්කෝගුම් (Skaugum) හිදී කිරුළ හිමි හාකොන් (Haakon) කුමරු සමඟ එක්ව මෙම සම්මුඛ සාකච්ඡාව පටිගත කර ඇත.
සති හතක් පුරා ක්‍රියාත්මක වූ ඇයගේ 29 හැවිරිදි පුත්‍රයාගේ නඩු විභාගය නෝර්වේ වැසියන්ගේ දැඩි අවධානයට ලක්විය. ඔහු රජ පවුලේ නිල සාමාජිකයෙකු නොවූවත්, 2001 වසරේදී සිය මව හාකොන් කුමරු සමඟ විවාහ වීමෙන් පසු ඔහු හැදී වැඩුණේ රජ පවුල සමඟිනි. ස්ත්‍රී දූෂණ, බරපතල පහරදීම් සහ අපයෝජන මෙන්ම මත්ද්‍රව්‍ය සහ රථවාහන වැරදි ඇතුළු චෝදනා 40 කට ඔහු මුහුණ දී සිටී. 2018 වසරේදී වාර්තා වූ පළමු ස්ත්‍රී දූෂණ චෝදනාවට අදාළ සිදුවීම කිරුළ හිමි කුමරුගේ සහ කුමරියගේ නිල ස්කෝගුම් වතුයායේදී සිදුවී ඇති අතර, මෙය නෝර්වේ රජ පවුල මුහුණ දුන් දැවැන්තම අපකීර්තිය ලෙස විචාරකයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත්, තමන්ට එල්ල වී ඇති බරපතල චෝදනා ප්‍රතික්ෂේප කරන හෝයිබි වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතිඥයින් වන එලන් හොලගර් ඇන්ඩෙනෙස් සහ පීටර් සෙකුලික් බ්‍රහස්පතින්දා අධිකරණයට දැනුම් දුන්නේ ඔහුව ස්ත්‍රී දූෂණ චෝදනාවලින් නිදහස් කළ යුතු බවයි. ගංජා කිලෝග්‍රෑම් 3.5 ක් ප්‍රවාහනය කිරීම, තහනම් නියෝග උල්ලංඝනය කිරීම සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම වැනි ඔහු විසින් පිළිගත් වැරදි සඳහා මාස 18 ක සිරදඬුවමක් පමණක් ප්‍රමාණවත් බව ඔවුන් තර්ක කර ඇත. එහෙත්, පැමිණිල්ල විසින් විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේ ඔහුට වසර හතයි මාස හතක සිරදඬුවමක් ලබා දෙන ලෙසයි. මෙම නඩුවේ තීන්දුව එළඹෙන ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
මෙම නඩු විභාගය ආරම්භ වීමට පෙර, 2011 සහ 2014 කාල වකවානුව තුළ කුමරිය සහ එප්ස්ටීන් අතර හුවමාරු වූ විද්‍යුත් තැපැල් පණිවිඩ සිය ගණනක් ප්‍රසිද්ධියට පත්වීම රජ පවුලට දැඩි අපහසුතාවක් ගෙන දුන්නේය. 2008 වසරේදී සිරදඬුවම් විඳි එප්ස්ටීන්ගේ අඳුරු අතීතය පිළිබඳව කුමරිය දැනුවත්ව සිටි බවත්, ඔහු නොමැති අවස්ථාවක ෆ්ලොරිඩාවේ පාම් බීච් හි පිහිටි ඔහුගේ නිවසේ දින හතරක් ඇය ගත කර ඇති බවත් එමගින් හෙළි විය. මේ සම්බන්ධයෙන් මීට පෙරද කනගාටුව පළ කළ මෙටේ-මාරිට් කුමරිය, සිය පුත්‍රයාගේ නඩු විභාගය ආරම්භ වී දින කිහිපයකට පසු නෝර්වේ ජනතාවගෙන් සහ අසූවැනි වියේ පසුවන හැරල්ඩ් රජුගෙන් සහ සොන්ජා රැජිනගෙන්ද ගැඹුරු සමාවක් අයැද සිටියාය. අග්‍රාමාත්‍ය ජෝනාස් ගාර් ස්ටෝරේ (Jonas Gahr Støre) පවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ කුමරියගේ මෙම ක්‍රියාකලාපය දුර්වල විනිශ්චයක් පෙන්නුම් කරන බවයි.
මේ වන විට කුමරියගේ සෞඛ්‍ය තත්වයද පිරිහෙමින් පවතින අතර, ඇය පෙනහළු ආශ්‍රිත 'පල්මොනරි ෆයිබ්‍රෝසිස්' (pulmonary fibrosis) නම් රෝගයෙන් පීඩා විඳියි. මේ හේතුවෙන් ලබන සතියේ පැවැත්වෙන බෙල්ජියම් රජුගේ සහ රැජිනගේ රාජ්‍ය සංචාරයටද ඇය සහභාගී නොවනු ඇතැයි රාජකීය නිවස නිවේදනය කර තිබේ. එසේම, කුමරියට එල්ල වී ඇති මෙම චෝදනා හේතුවෙන් ඇය අනුශාසකත්වය දැරූ සංවිධාන දෙකක් දැනටමත් ඇය සමග තිබූ සබඳතා නතර කර ඇත.
එප්ස්ටීන් ලිපිගොනු හරහා චෝදනාවලට ලක්වූ නෝර්වේ ජාතික එකම ප්‍රසිද්ධ චරිතය මෙටේ-මාරිට් කුමරිය පමණක් නොවේ. එරට හිටපු අග්‍රාමාත්‍ය තෝර්බියෝන් ජැග්ලන්ඩ් (Thorbjørn Jagland) ට ද බරපතල දූෂණ චෝදනා එල්ල වී ඇති අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. මේ අතර, නෝර්වේ විදේශ අමාත්‍යාංශය සහ එප්ස්ටීන් අතර පැවති සබඳතා පිළිබඳව ස්වාධීන පරීක්ෂණ කොමිසමක් පත් කිරීමටද නෝර්වේ පාර්ලිමේන්තුව මෙම සතියේදී අනුමැතිය ලබා දුන්නේය.


