
ජනපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී සිදු කළ සම්පූර්ණ කතාවේ Full Text පහත පරිදි වේ:
ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථභාවය සහ ජාත්‍යන්තර අර්බුදයට මුහුණ දීම
අපට ජයග්‍රහණ අත්පත් කර ගත හැකි වන්නේ අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගනිමින් පමණයි. ඒ නිසා කුමන පීඩනයන් මධ්‍යයේ වුවද, අපේ මධ්‍යස්ථභාවය ගිලිහී යාමට අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ.
නමුත් මම දන්නවා සමහර මන්ත්‍රීවරුන්ගෙන් සහ විවිධ පාර්ශ්වයන්ගෙන් අදහස් ඉදිරිපත් වෙනවා, අපි යම් කණ්ඩායමකට පක්ෂපාතීව ඉන්නවා කියලා. ඒ වගේම සමහර දේවල් සම්බන්ධයෙන් අපි නිසි වෙලාවට නිසි තීන්දු තීරණ ගත්තේ නෑ වගේ අදහස් ඉදිරිපත් වෙනවා. පළමු කොටම මම ඔබට කියන්නේ, මේවා සම්පූර්ණයෙන්ම අසත්‍ය අදහස් බවයි.ඉරාන නෞකා සහ එක්සත් ජනපද ගුවන් යානා පිළිබඳ ගැටලුව
ඉරානයේ නැව් පිළිබඳ ප්‍රශ්නය ගත්තොත්, විශේෂයෙන්ම 2026 පෙබරවාරි 26 වැනිදා (2/26 දින) ඔවුන් අපෙන් ඉල්ලීමක් කළා. මාර්තු 9 සහ 13 යන දිනවලදී ලංකාවට සුහද සංචාරයක් (Goodwill visit) සඳහා, එනම් සහයෝගිතාව වර්ධනය කිරීමේ සංචාරයක් සඳහා මේ නාවික යාත්‍රා 3 කට පැමිණීමට අවශ්‍ය බව පවසමින් ඔවුන් ඒ ඉල්ලීම කළා. අපිට තිබුණේ මාර්තු මාසයේ 9 සහ 13 කියන දෙදින තුළ පැමිණීම පිළිබඳවයි. ඒ සඳහා අවසර ලබාදීම පිළිබඳව අපි අධ්‍යයනය කරමින් සිටි බව මම මේ මොහොතේ කියන්න කැමතියි.
ඒ හා සමාන ලෙසම එදිනම හවස එක්සත් ජනපදයෙන් අපෙන් ඉල්ලා සිටියා, ජිබුටි රාජ්‍යය ආසන්නයේ සිටින ඔවුන්ගේ නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකකට ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපළට පැමිණීමට අවසර දෙන්න කියලා. දැන් අපි ගාව ලිපි ලේඛන දෙකක් තිබෙනවා. එකකින් ඉරානය අපෙන් ඉල්ලා සිටිනවා, මාර්තු 9 සහ 13 දිනවල ඔවුන්ගේ නාවික යාත්‍රාවලට ලංකාවට ප්‍රවිෂ්ට වෙන්න දෙන්න කියලා. අනෙක් පසින් එක්සත් ජනපදය අපෙන් ඉල්ලා සිටිනවා, ඔවුන්ගේ නාවික හමුදාවට අයත් යුද ගුවන් යානා දෙකකට අපේ මත්තල ගුවන් තොටුපොළට එන්න දෙන්න කියලා.
එතකොට අපි කුමක්ද කළේ? අපි ඉතාමත් පැහැදිලි තීරණයක් ගත්තා. අපේ රටේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කළ යුතුයි. ඒ වනවිටත් මේ පිළිබඳව යුද ගැටුම් සංඥාවන් මතුවෙලා තිබුණා. ඒ නිසා අපි ඒ දෙපාර්ශ්වයටම අවසර ලබා දුන්නේ නෑ. ඒක තමයි මධ්‍යස්ථ බව. මම අහනවා මෙතන කවුරුහරි ඉන්නවාද කියලා; මට මතකයි සමහරු ඇහුවා ඇයි ඉරාන නෞකාවකට අවසර දුන්නේ නැත්තේ කියලා. එහෙම අවසර දුන්නා නම් කුමක්ද සිදුවෙන්නේ? අපේ මුළු මධ්‍යස්ථභාවය ගිලිහෙනවා. එක්කෝ අපි එක් පාර්ශ්වයකට පක්ෂපාතීව කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට අනිත් පාර්ශ්වයටත් ඉඩදෙන්න සිදුවෙයි. එහෙම වුණා නම් ඈත කලාපයක තියෙන යුද ගැටුමක් මත්තලට සහ කොළඹ වරායට ළඟා වෙනවා. අපි වැඩ කරන්නේ කුමන පීඩනයක් මධ්‍යයේ වුවත් අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගනිමිනි.
නාවික මුදවාගැනීමේ මෙහෙයුම් සහ මානුෂීය සහය
ඊට පස්සේ පෙබරවාරි 27 වැනිදා අපෙන් ඉල්ලීමක් කළා. මේ 'අයිරිෂ් අයිස් බෞද්ධ' (Irish Icebound) කියන නෞකාවේ එක් නාවික සෙබළෙකුට යම් අනතුරක් සිදුවී තුවාල වෙලා තියෙන බව වාර්තා කරලා, ඔවුන් අපෙන් ඉල්ලා සිටියා එම නාවික සෙබළා සහ ඔහු සමඟ නිලධාරියෙකුත් ලංකාවට ගේන්න ඕනේ කියලා. අපේ මධ්‍යස්ථභාවය සහ ජාත්‍යන්තර බැඳීම් මත එවැනි අවස්ථාවකදී අපි සහය ලබා දිය යුතුයි. ඒ අනුව පෙබරවාරි 27 වැනිදා එම නාවික නිලධාරියා සහ නාවික සෙබළා ලංකාවට ගෙනැවිත් ඩර්ඩන්ස් රෝහලට ඇතුළත් කිරීමට අපි අවසර ලබා දුන්නා. ඔවුන්ව ලංකාවට ගෙනාවේ අපි නෙවෙයි; එම නැව් සමාගමට සැපයුම් කරන සමාගම විසිනුයි ඔවුන් දෙදෙනාව ගෙනාවේ. ජාත්‍යන්තර වශයෙන් එළඹිලා තියෙන සම්මුතීන් අනුව අපි ඒ යුතුකම ඉටු කළා.
ඊට පස්සේ නැවත මාර්තු 4 වෙනිදා අපිට වාර්තා වුණා අපේ ආර්ථික කලාපයේ සීමාවේ ඉරානයට අයත් නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව. අපේ මුහුදු කලාපය නොවුණත්, ආර්ථික කලාපය තුළ අපිට ජාත්‍යන්තර බැඳීම් තිබෙනවා. එම සීමාවේ අපිට නැව්වලට යන්නත් පුළුවන්, ඕනෑම දෙයක් කරන්නත් පුළුවන්. නමුත් ජාත්‍යන්තර බැඳීම් සහ මනුෂ්‍යත්වය කේන්ද්‍ර කරගෙන අපේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව විශාල මෙහෙයුමක් කළා. ජාත්‍යන්තර ප්‍රමිතීන් තිබෙනවා, එවැනි පිපිරීමක් සිද්ධ වුණාම දවස් කීයක් ආවේක්ෂණය (Surveillance) කළ යුතුද, මුහුදු රළ හමන දිශාව අනුව කොච්චර දුරක් අපි ආවේක්ෂණය කළ යුතුද කියලා. අපි ඒ සියල්ල ප්‍රමිතීන් අනුව සිදු කළා. ප්‍රහාරය සිද්ධ වෙලා සාමාන්‍යයෙන් ජීවිත සහ මළ සිරුරු ගලවා ගැනීම වෙනුවෙන් ගත යුතු උපරිම කාලය සහ රළ හමන දිශාව අනුව යා යුතු මුළු දුරම අපි ගියා. ඒ අනුව අපි තුවාලකරුවන් තිස් දෙදෙනෙක් සහ මළ සිරුරු අසූ හතරක් ගොඩබිමට අරගෙන ආවා. ඒ අපේ මනුෂ්‍යත්වය සහ අපේ මධ්‍යස්ථභාවයයි.
අනතුරුව, මාර්තු 4 වෙනිදා උදේ ඒ ප්‍රහාරයෙන් පසුව ඔවුන් අපෙන් ඉල්ලීමක් කළා, ඔවුන්ගේ අනිත් නෞකාවේ එන්ජිමේ බිඳවැටීමක් සිද්ධ වෙලා තිබෙන නිසා අපේ කොළඹ වරායට ළඟා වෙන්න ඉඩ දෙන්න කියලා. මෙතන බොහෝ අය කිව්වා 'මේ අය පැය 11 කට කලින් ගියානම් බේරගන්න තිබුණා' කියලා. පළමු ඉල්ලීම ආවේ පෙබරවාරි 26 වැනිදා, මාර්තු 9 වැනිදා එන්න කියලයි. මම හිතන්නෙ මේ අයට දින ගණන් පැය ගණන් පැටලිලා තියෙන්නේ. දෙවැනි නෞකාවට ඉල්ලීම කළේ පළමු නෞකාවට ප්‍රහාර එල්ල කළාට පස්සෙයි. එන්ජින් ආබාධයක් ඇති වෙලා තිබෙන නිසා ඔවුන්ට ගමන් කරන්න බෑ; ඒ නිසා අපේ කොළඹ වරායට ආසන්න වෙන්න දෙන්න කියලා ඔවුන් ඉල්ලුවා. ජාත්‍යන්තර නීතිය අනුව, යුද ගැටුමක එක් පාර්ශ්වකරුවෙක් අපේ මුහුදු සීමාවට ඇතුළු වෙනවා නම්, ඔවුන්ට රැඳෙන්න පුළුවන් උපරිම කාලය පැය 24 යි. පැය 24 න් පසු යා යුතුයි, අපිට දිගටම තියා ගන්න බෑ. යම් යුද ගැටුමකදී එක් කණ්ඩායමක් අනතුරට මුහුණ දීලා ඉන්නවා නම්, අපි ඔවුන්ව බේරාගෙන නැවත යුද්ධයට යැව්වොත් එයින් එක් පාර්ශ්වයක් නියෝජනය කිරීමක් වෙනවා. එනිසා උපරිම කාලයක් තියාගන්න පුළුවන් පැය 24 යි. ඉන්පසු යා යුතුයි; එහෙම නැත්නම් ඔවුන් අපේ භාරයට ආ යුතුයි. එතන තමයි අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා වෙන්නේ. ඒ අනුව, ඔවුන්ට පැය 24 න් යන්න බැරි නම් අපේ භාරයට එන්න කියලා අපි දැනුම් දුන්නා. අපේ භාරයට ආවට පස්සේ, නැවෙන් සම්පූර්ණයෙන්ම බහින්න ඕනේ කියලා අපි ක්‍රියා කළා. එහි හිටපු නාවිකයින් 26 දෙනෙක් අපි අපේ නාවික හමුදා කඳවුරට ගත්තා. මේ 26 දෙනාම ආතතියකට මුහුණ දීලා තියෙන සොල්දාදුවන් බව අපි දන්නවා. කවරාකාර තත්ත්වයක් වර්ධනය විය හැකිද යන්න ගැන සලකා බලා අපි ප්‍රවේශම්කාරී ලෙස ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ලබා දුන්නා. ඉන් රෝගාතුර බවට පත්වුණු දෙදෙනෙක් වැලිසර නාවික හමුදා රෝහලට පිටත් කර හැරියා. අපි ඉතාමත් මනුෂ්‍යත්වයෙන් යුතුව ඔවුන්ව රැකබලා ගත්තා. මේ ක්‍රියාවලිය තමයි ලංකාව ජාත්‍යන්තර හමුවේ පිළිගැනීමට සහ කීර්තියට භාජනය වීමට හේතු වුණේ.
අනතුරුව ඔවුන් අපෙන් ඉල්ලා සිටියා මේ මළසිරුරු ඔවුන්ගේ රටට ගෙනියන්න අවශ්‍යයි කියලා. අපි ඒ සඳහා අවසර ලබාදුන් නිසා පසුගිය දිනවල ගුවන් යානයක් ඇවිල්ලා ඔවුන්ගේ මළ සිරුරු ශ්‍රී ලංකාවෙන් රැගෙන ගියා. අර ප්‍රහාරයට ලක්වුණු නෞකාවේ තවත් තිස් දෙදෙනෙක් කරාපිටිය රෝහලේ හිටියා. එම තිස් දෙදෙනාම සුව වෙලා තිබෙන්නේ. මේ වන විට ආසන්න කොග්ගල ගුවන් හමුදා කඳවුරේ එම තිස් දෙදෙනා රැඳී සිටිනවා. ඒ නිසා මේ ජාත්‍යන්තර යුද්ධයේදී අපේ ප්‍රතිපත්තිය හැමවිටම අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කිරීමයි.
එක්සත් ජාතීන්ගේ යෝජනාව සහ එක්සත් ජනපද ගිවිසුම්
ඒ වගේම පහුගිය දා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයට මේ ප්‍රහාරයන් පිළිබඳ යෝජනාවක් ආවා. බොහෝ රාජ්‍යයන් ගණනාවක් ඒ යෝජනාවට එකඟතාව පළකර සහයෝගය ලබා දීලා තිබුණත්, අපි එයට සහය ලබා දුන්නේ නෑ. හොඳම රටවල් පවා එම යෝජනාවට සහයෝගය පළ කරලා තිබුණා. අපි සහය පළ කළේ නැත්තේ ඇයි? ඒ යෝජනාව අඩයි, අසම්පූර්ණයි. අපි හැම විටම යුක්තිය හා සාධාරණත්වය පිළිබඳ සටන් පාඨය ජාත්‍යන්තර වේදිකාවට ගෙන යනවා. ඒ අනුව තමයි අපි කටයුතු කර තිබෙන්නේ. ඒ නිසා මා කියන්නේ, හැම විටම අපේ ක්‍රියාකාරකම්, අපේ ප්‍රතිපත්තීන්, අපේ තීන්දු තීරණ, අපේ සම්මුතීන් මේ සියල්ල හරහා අපි අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු කරනවා. මෙවැනි යුද්ධයකදී ශ්‍රී ලංකාව නැමැති මාතෘ භූමියේ අනන්‍යතාවයත්, ගෞරවයත්, ජාත්‍යන්තර වශයෙන් ඇති පිළිගැනීමත් ආරක්ෂා කර ගැනීම සඳහා වන ක්‍රමවේදය එයයි. කිසිසේත්ම වචනෙකින් හෝ පක්ෂපාතී වන්නේ නෑ. බොහෝ අය පාර්ලිමේන්තුවේ බොහෝ දේවල් කියනවා; 'පැය දොළහකට කලින් ගෙනාවා නම් බේරගන්න තිබුණා' වගේ බොරු කතා කියනවා. ඒවා ඉතාමත් අසත්‍ය චෝදනා. මා හිතනවා පාර්ලිමේන්තුවේදී අපේ රටේ තියෙන ඩීසල් ප්‍රශ්න, ආහාර ප්‍රශ්න වගේ වෙන ඕනෑම දෙයක් ගැන ප්‍රශ්න කරන්න පුළුවන්. හැබැයි මෙවැනි ජාත්‍යන්තර වශයෙන් ඉතාමත් වැදගත්, තීරණාත්මක සන්ධිස්ථානයක ලෝකය කැළඹී තිබෙන වෙලාවක, අපි සත්‍ය කියන්න කියලා මම ඉල්ලා සිටිනවා. එලෙස අසත්‍ය චෝදනා එල්ල කරමින් කුමක්ද කරන්න හදන්නේ? 'ශ්‍රී ලංකා ආණ්ඩුව මගහැරීම නිසා තමයි පළමු නෞකාව බිලි වුණේ' කියලා මතයක් හදන්න හදනවා. එය අමානුෂිකයි. ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් එය අන්ත ප්‍රතිගාමී ක්‍රියාවක් බව හොඳට මතක තියාගන්න. අපේ අගමැතිතුමාට විරුද්ධව පාර්ලිමේන්තුවේ කියන අනිත් දේවල් අපි ගණන් ගන්නේවත් නෑ. හැබැයි මේ ප්‍රශ්නෙදි මම බලාපොරොත්තු වෙනවා මීට වඩා වගකීමෙන් යුතුව කටයුතු කරයි කියලා.
සමස්ත සත්‍යය තමයි මේක. එක්සත් ජනපදයේ ගුවන් යානා 2 අපෙන් ඉල්ලා සිටියේ අප්‍රේල් 4 සහ 8 කියන දෙදින තුළ මත්තල ගුවන් තොටුපළ ඔවුන් වෙනුවෙන් වසා තබන්න කියලයි. ඔවුන් සතුව විශේෂයෙන්ම නෞකා නාශක මිසයිල එම ගුවන් යානාවල පියාපත්වල එල්ලා ඇති බව සඳහන් කර තිබුණා. මම දන්නවා සමහර අය මෙතැන තර්ක කරන්න හදනවා, 'අපි එක්සත් ජනපදයත් එක්ක ආරක්ෂක ගිවිසුමකට එළඹිලා තිබෙනවා, ඒ නිසා මේ යුද්ධයේ පාර්ශ්වකරුවන් වීම අපට වළක්වන්න බෑ' කියලා. එය සම්පූර්ණ අසත්‍යයක්. අපි අතර ඇතිවී තිබෙන එකඟතාවල ප්‍රධාන කරුණු ගත්තොත්, එම එකඟතා තුළ කිසිසේත්ම මෙවැනි යුද්ධයකදී අපි අතර තියෙන හවුල්කාරීත්වයක් පිළිබඳ කිසිදු සඳහනක් නෑ. අපි අතර යම් අවබෝධතා ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. ඒවා මොනවාද?
ගුවන් සේවා ආශ්‍රිත ක්‍රියාකාරකම්
සේවා නඩත්තු හා සම්බන්ධ පුහුණු වැඩසටහන්
සමුද්‍රීය බල ප්‍රදේශ පිළිබඳ දැනුවත්භාවය (සමුද්‍ර බල ප්‍රදේශයේ සිදුවෙන තොරතුරු අපට අවශ්‍යයි)
සයිබර් ආරක්ෂාව සහ සුරක්ෂිත සන්නිවේදනය පිළිබඳ පහසුකම් සහ පුහුණුවීම්
මානුෂීය ආධාර සහ ආපදා හදිසි ප්‍රතිචාර
ඒ අනුව තමයි අර ගුවන් යානා දෙකක් අපිට ආවේ. මේ වගන්ති මගින් කිසිසේත්ම යුද්ධයකදී අපි කවර පාර්ශ්වයක් සමඟ හෝ බැඳීමක් ඇති කරන්නේ නෑ. එවැනි අවබෝධතා ගිවිසුම්වලින් එලෙස සමාජ මතයක් ගොඩනඟන්න උත්සාහ කරනවා. එක්සත් ජනපදයත් එක්ක එළඹුණු අවබෝධතා ගිවිසුම් අනුව තමයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා තමයි අපි මේ ප්‍රතිපත්තීන් රැක්කේ. 'ඉරාන නැව ගත්තෙ නෑ' කියන එක සම්පූර්ණ බොරුවක්. මම ඔබට පැහැදිලිව කිව්වා, 26 වැනිදා එක් පාර්ශ්වයකින් නාවික යාත්‍රාවන්ට ඉල්ලනවා, අනෙක් පාර්ශ්වයෙන් ගුවන් යානාවලට ඉල්ලනවා. එවැනි බැඳීමක් තිබුණා නම් ගුවන් යානාවලට ඉඩ දෙන්න තිබුණා. නමුත් අපි පැහැදිලිවම අපේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති රකිමින් කටයුතු කළා.
ගෝලීය ආර්ථික බලපෑම සහ ඉන්ධන ටෙන්ඩර් ක්‍රියාවලිය
මීට කලිනුත් මා පැහැදිලි කළා මේ යුද්ධයේ ස්වභාවය ගැන. එක් පාර්ශ්වයක් මේ යුද්ධය තීව්‍ර කරමින් යුද ගැටුමට අවතීරණ වෙලා තිබෙන්නේ මුළුමනින්ම අනෙක් රාජ්‍යයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ අරමුණින්. පාලන තන්ත්‍රය හරිද වැරදිද කියන එක ඒ ජනතාවගේ අයිතියක්. නමුත් ඒ වෙනස් කිරීමේ අරමුණින් තමයි එක් පාර්ශ්වයක් මේ යුද්ධයට මැදිහත් වී තිබෙන්නේ. අනෙක් පාර්ශ්වයේ යුද ක්‍රියාකාරකම් සන්සන්දනාත්මකව ගත් විට, ඔවුන්ට ශක්තිමත් යුද බලයක් නැති නිසා ඔවුන්ගේ යුද උපක්‍රමය බවට පත් වී තිබෙන්නේ ලෝක පරිමාණයෙන් ආර්ථිකයට පීඩනයක් එල්ල කිරීමයි. ඒ අනුව තමයි ආරම්භයේදී ගුවන් තොටුපොළවල්, පසුව වරායවල්, පසුව තෙල් පිරිපහදු සහ පසුව තෙල් ගමන් කරන නාවික යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්නේ. ඒකෙන් පෙන්නුම් කරන උපක්‍රමය මොකක්ද? ආර්ථික වශයෙන් ලෝකය පීඩාවට ලක් කිරීම තමයි ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් කල්පනා කරන උපක්‍රමය. යුද්ධයකදී අපට පිටස්තරින් ඉඳලා අනුන්ගේ යුද්ධයේ අරමුණු පිළිබඳ විශ්ලේෂණය කරන්න පුළුවන්. එක පාර්ශ්වයකට අවශ්‍යයි මුළුමනින්ම රෙජීමය වෙනස් කරන්න. අනෙක් පාර්ශ්වය ඊට මුහුණ දෙන්නේ ලෝක පරිමාණයෙන් ආර්ථිකය පීඩාවට ලක් කරලා තමන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කර ගැනීමෙනි. ඒක තමයි මේ යුද්ධයේ තියෙන අන්ත දෙකේ ස්වභාවය.
අන්න එහිදී තමයි අපිට මේක වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම මැද පෙරදිග කලාපය කේන්ද්‍ර කරගත් අපේ ආර්ථික ප්‍රබලයන් දෙකක් තිබෙනවා. අපනයන වෙළඳාම පසෙක තිබ්බොත්, එකක් තමයි ඒ හරහා ගොඩනැගිලා තියෙන ගෑස් සහ ඉන්ධන සැපයුම් මාර්ගය. අපිට ආර්ථිකව වැදගත් වෙන දෙවැනි කාරණය තමයි අපේ රටේ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් එම කලාපයේ වැඩ කිරීම. එම ශ්‍රමිකයන් අපේ ආර්ථිකයේ විශාල පංගුවක්. එතෙර අපි මේවා සුරක්ෂා කළ යුතුයි. අභ්‍යන්තරයේ අපිට වෙන අර්බුදයක් හෝ ගැටුමක් නෑ. අභ්‍යන්තරයේ අපිට විය හැකි දේ තමයි විදේශ සංක්‍රාමවල (remittances) පසුබැසීමක් ඇතිවෙන්න පුළුවන්. ඒ වැඩ කරන ජනතාව මුහුණ දෙන ගැටලු විසින් එක පැත්තකින් එය බලපානවා. දෙවනුව සැපයුම් මාර්ග අඩපණ වීම නිසා අපේ බලශක්ති සැපයුමට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. එතකොට අපි බලන්න ඕනේ බාහිරව ඇතිවන මේ කම්පනයෙන් අපිට ප්‍රශ්න මොන ආකාරයෙන්ද බලපාන්නේ කියලා. අපේ කෘෂිකර්මාන්තයට කොහොමද බලපාන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. අර බාහිර කම්පන ස්වභාවය ඉතා හොඳින් තේරුම් අරන් තියෙන තැන් දෙකක් තමයි විදෙස් සංක්‍රාම සහ බලශක්ති සැපයුම.
එතකොට අපි ඉතාමත් විධිමත්ව අපේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා වැඩකරමින් ඉන්නවා. අපි ඒක සැලසුම් කරලා තිබෙනවා. ඉතාමත් විධිමත්ව වැඩ කිරීම සහ සැලසුම් කිරීම හේතුකොටගෙන, විශේෂයෙන්ම අපේ රටේ තිබුණු ක්ෂණික මිලදී ගැනීම් (spot purchases) නැවැත්වීමට අපි කටයුතු කළා. මේ තෙල් සංස්ථාව ආශ්‍රිතව ගොඩනැගිලා තිබුණු ඉතාමත්ම විනාශකාරී දූෂණය එයයි. ඒ නිසා අපි හැම විටම උත්සාහ කළා දිගුකාලීන ටෙන්ඩර් හරහා අපේ බලශක්ති සැපයුම සපයා ගන්න. අපි බලයට ආ දා සිට උපරිම උත්සාහ දැරුවේ දිගුකාලීන ටෙන්ඩර් හරහා බලශක්තිය සපයා ගැනීමටයි. ඒ වගේම අපි විවිධ රාජ්‍යයන් එක්ක සාකච්ඡා කරමින් හිටියා. මේ ටෙන්ඩර් ප්‍රමාණයත් සමහර වෙලාවට ෆික්ස් කරන්න පුළුවන්. ඒක නිසා අපි උත්සාහ කරමින් තිබුණේ ආණ්ඩුව සහ ආණ්ඩුව (G2G) අතර එකඟතාවකට රාජ්‍යයන් එක්ක යන්න පුළුවන්ද කියලා. අපේ බලශක්ති ඇමතිතුමා ඒ පිළිබඳ රාජ්‍යයන් කිහිපයක් සමඟ සාකච්ඡා කළා. ආර්ථික නියෝජ්‍ය අමාත්‍යතුමා විදෙස්ගත වූ වෙලාවේදී අදාළ රාජ්‍යයන් එක්ක සාකච්ඡා කරමින් තිබුණා. අපි ඒ ප්‍රයත්නයේ හිටියා. හැබැයි අපේ සැලැස්ම වෙලා තිබුණේ දිගුකාලීන ටෙන්ඩර් ක්‍රමයයි; මොකද දැනට තියෙන වාසිදායකම, පිරිවැය අඩුම සහ වංචා දූෂණ අවම ක්‍රමය එයයි. ඒ අනුව අපි සැලසුම් කරලා තිබුණා අපිට පිරිපහදු කළ තෙල් ගෙන්වන්න. විශේෂයෙන්ම සිංගප්පූරු සමාගම් සහ ඉන්දියානු සමාගම් හරහා පිරිපහදු කරන ලද තෙල් ලබා ගැනීමේදී දිගුකාලීන ටෙන්ඩර්වල අර්බුදයක් මතුවෙන්නේ නෑ.
හැබෑවටම ප්‍රධාන ප්‍රශ්නය මොකක්ද? බොරතෙල්. බොරතෙල් අපිට එන්නෙ විශේෂයෙන්ම ෆුජේරා (Fujairah) කියන වරායෙන් තමයි අපිට බොරතෙල් නැව් පැමිණීමට නියමිතව තිබුණේ. ෆුජේරා වරාය හරහා මාර්තු මාසයේ 24, 25 වෙනකොට මෙට්‍රික් ටොන් 90,000 ක බොරතෙල් නැවක් එන්න තිබුණා. නමුත් ඔබ දන්නවා ෆුජේරා වරායට සිදුවූ විපත නිසා, එය දිගුකාලීන ටෙන්ඩරයක් වුණත්, ඔවුන් ඒක දින පස්සට දාලා තියෙනවා. ඊළඟට තව ටෙන්ඩර් එකක් තිබුණා. එතැනත් මෙට්‍රික් ටොන් 90,000 ක් තිබුණා. ඒකත් අපිට තිබුණේ ෆුජේරා වලින්. ඒකත් අපිට ලැබෙන්නේ නෑ. එතකොට අපි බැලුවා බලශක්ති ප්‍රශ්න එනකොට කොහෙන්ද අපිට ප්‍රශ්න මතුවිය හැකි වන්නේ කියලා. පාර්ලිමේන්තුවේදී අපේ බලශක්ති ඇමතිතුමාත්, ඛනිජ තෙල් සභාපතිතුමාත් ඉතා පැහැදිලිව කිව්වා, ඉන්දියානු සමාගම් සහ සිංගප්පූරු සමාගම් අතර ඇතිකරගත් එකඟතාවයන් සහ ගිවිසුම් ප්‍රකාරව අපිට ඉන්ධන නැව් එනවා. එනම් අපට ප්‍රශ්න මතුවෙන තැන මොකක්ද? අර බොරතෙල් නැව් 2 නොලැබීම සහ බොරතෙල් ටික නොලැබීම තමයි අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
ඒ අනුව අපි මාර්තු 5 වැනිදා - මතක තබාගන්න, යුද්ධයේ පළවෙනි දිනවලම, එනම් පෙබරවාරි 28 කියන්නේ යුද්ධයේ පළවෙනි දින වගේ නේද? එතකොට අපි මොකක්ද කළේ? මාර්තු 5 වැනිදා අපි ටෙන්ඩර් කැඳෙව්වා. අපිට අවශ්‍ය බලශක්ති සැපයුම සඳහා අපි දිගුකාලීන ටෙන්ඩර් ලබා දීලා තිබුණත්, මෙතන අර්බුදයක් මතුවිය හැකි නිසා අපි ටෙන්ඩර් කැඳෙව්වා. ඒ ටෙන්ඩර් අපි 13 වැනිදා විවෘත කළා. ඒකෙදි අපි බැලුවා මොකක්ද අපිට අර්බුදය මතු වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපේ පිරිපහදුව අපේ තෙල් අවශ්‍යතාවයෙන් 35% ක් නිෂ්පාදනය කරනවා. එහෙමනම් අපට බොරතෙල් සපයාගන්න එම කලාපයෙන් අසීරු නම් අපි කොහොමද කරන්නේ? පිරිසිදු කරපු තෙල් ආනයනය කිරීම තමයි විකල්පය. ඒ නිසා අපි මාර්තු 5 වැනිදා ටෙන්ඩර් කැඳෙව්වා. ඩීසල්, පෙට්‍රල්, දැවිතෙල්, ජෙට් ඒ-වන් සහ බොරතෙල් වලටත්, විශේෂයෙන් බොරතෙල් නැව් දෙකක් කැන්සල් වෙලා තිබුණු නිසා අපි ඒ ටෙන්ඩර් විවෘත කළා.
විවෘත කරපුවහම අපිට ඩීසල් නැවකට ටෙන්ඩර් ප්‍රදානය කළා, ඒක අප්‍රේල් 6-7 එනවා. ඊට පස්සේ පෙට්‍රල් එකක් අපි ප්‍රදානය කළා, ඒක අප්‍රේල් 16-17 එනවා. දැවිතෙල් එකක් ප්‍රදානය කළා 12-13 අප්‍රේල් එනවා. ජෙට් ඒ-වන් එකක් ප්‍රදානය කළා 10-11 අප්‍රේල් එනවා. බොරතෙල් වලට අපි ටෙන්ඩර් එකක් ඉල්ලුවා අප්‍රේල් වලට දෙන්න කියලා. දෙවැනි එක ජුනි වලට දෙන්න කියලා. හැබැයි අප්‍රේල් මාසයට බොරතෙල් සපයන්න පුළුවන් කියලා කිසිදු සමාගමක් ඒ ටෙන්ඩරයට ඉදිරිපත් වුණේ නෑ. හැබැයි අපිට එක් සමාගමක් ඉදිරිපත් වෙලා තියෙනවා ජුනි මාසයේ බොරතෙල් නැවක් ඔවුන්ට ලබාදෙන්න පුළුවන් කියලා. අපි ඒ ටෙන්ඩරය ප්‍රදානය කළා. ඒ වගේම ටෙන්ඩර්වල දිගුවක් හැටියට 18 වෙනිදාත් අපි නැවත ඩීසල් ටෙන්ඩරයක් ප්‍රදානය කළා. දැනට සාකච්ඡා කරමින් යනවා. ඒක අපිට ලබාදෙන්න එකඟතාව පළ කර තිබෙනවා අප්‍රේල් මාසයේ 7, 8 වගේ දිනවල. එතනදී අපි බලන්නේ බොරතෙල් පිරිපහදුවෙන් අපිට අවශ්‍යතාවන් සපුරා ගන්න බැරිනම්, පිරිපහදු කරන ලද තෙල් ආනයනය කිරීම තමයි අපේ ප්‍රමුඛතාව බවට පත් කරගන්නේ. ඒ ප්‍රමුඛතාව අනුව අපි කටයුතු කරමින් තිබෙනවා.
බලශක්ති සැපයුමට ඇතිවූ බාධා සහ නව ටෙන්ඩර් ක්‍රියාවලිය
ඒ වගේම මේ අර්බුදය සහ ගැටුම නිසා අපේ සකස් කර තිබුණු බලශක්ති සැපයුම්වලට බාධා මතු වුණා. අපිට බොරතෙල් නැව් දෙකක් (මෙට්‍රික් ටොන් 90,000 බැගින්) එන්න තිබුණේ. ඊට අමතරව අපිට පෙට්‍රල් සහ ඩීසල් නැවක් එන්න තිබුණා, ඒක කල් ගියා. ඊළඟට පුද්ගලික සමාගමකින් ගේන එකක් තිබුණා. පෙට්‍රල් සහ ඩීසල් එකතු වෙච්චි මෙට්‍රික් ටොන් තිස් පන්දහසක නැවක් ටිකක් පස්සට ගියා. ඒත් අපි බැලුවා මේ හිඟයට අවශ්‍ය වෙන තැන් ටික අපි පුරවා ගන්නේ කොහොමද කියලා.
එක පාරටම අපිට විශාල තොග ගේන්න පුළුවන්ද? විශාල තොග ගෙනැවිත් ලොකුවට තියාගන්න බැහැනේ. කොහොමද අපි එක නැවක් වරායෙන් තෙල් ටික බාලා යනකොටම අනිත් නැව එන්න සලස්වන්නේ? සාමාන්‍යයෙන් තෙල් නැවක් බාන්න දින අටක් විතර යනවා. ඒ දින අට යනකම් අපිට එතැන බ්ලොක් වෙලා තියෙන්නේ, වෙන කාටවත් ගේන්න බෑ. ඒ නිසා මේ නැව් ටික ඉතාමත් හොඳින් පෙළගස්වලා, හිස්වන තැන කොතැනද බලමින් අපි වැඩ කරමින් ඉන්නවා.
අලුත් ටෙන්ඩර් හරහා අපි උත්සාහ කළා මේ අවස්ථා මඟහරවා ගන්න. මාර්තු 5 තමයි අපි ටෙන්ඩර් කැඳෙව්වේ. ඉතාමත් පූර්ව සූදානමකින් යුතුව අපි දැක්කා කොතැනද අර්බුදය මතු වෙන්න පුළුවන් කියලා. ෆුජේරාවලින් එන බොරතෙල් නැව් දෙකේ අර්බුද මතු විය හැකි බව අපි තේරුම් ගත්තා. මේ බොරතෙල්වලින් තමයි අපිට අවශ්‍ය දැවිතෙල්, ජෙට් ඒ-වන්, ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් නිෂ්පාදනය කරන්නේ. මේ පහටම අවශ්‍ය ටෙන්ඩර් අපි මාර්තු 5 කැඳෙව්වා. කල්තියා තත්ත්වය අධ්‍යයනය කරලයි අපි ඒ ටෙන්ඩර් කැඳවීම් කළේ.
කළු කඩ (Black Market) වළක්වා ගැනීම සහ අඛණ්ඩ සැපයුම තහවුරු කිරීම
ලෝකයේ මෙවැනි තත්ත්වයකදී බ්ලැක් මාර්කට් එකක් (කළු කඩයක්) හැදෙනවා. නැවක් තියෙනවා කිව්වහම තුන් හතරදෙනා ඩීල් දානවා. අපේ පළමු අවශ්‍යතාවය සහ ප්‍රධානම දේ තමයි බලශක්තිය අඛණ්ඩව සැපයීම. බිඳවැටීමකින් තොරව බලශක්තිය සැපයීම තමයි අපේ අරමුණ. ඒ සඳහා දෙවැනි පියවර හැටියට පසුගිය සතියේ කැබිනට් මණ්ඩල තීරණයක් ගත්තා විශේෂ කමිටුවක් පත් කරන්න. විවිධ සමාගම්වලට පුළුවන් ඉල්ලුම් ඉදිරිපත් කරන්න. මේ කමිටුවට දේශපාලන මැදිහත්වීමක් නෑ. අදාළ රාජ්‍ය නිලධාරීන් එක්ක ඒක විමර්ශනයක් කරලා, ඒ සමාගම්වල පිළිගත හැකිභාවය, මූල්‍ය වටිනාකම, අපිට අවශ්‍ය දිනයට එනවාද කියන එකත් වැදගත් අවධානයකට ලක් කරලා බලනවා. වරායේ ඉඩ ප්‍රමාණයක් තියෙන්නේ නිශ්චිත දිනවලට විතරයි. ඒවාට ගැළපෙන නැව්වලට අපි අවසර ලබා දෙන්න ලෑස්ති කළා. ඒ අනුව යෝජනා කීපයක් ආවා. දැන් කමිටුව ඒ ගැන සලකා බලමින් යනවා. ඒ අනුව අපිට බොරතෙල් නැවකටත් අවසර ලබාදීමේ හැකියාව තියෙනවා. ආසන්න වශයෙන් 12 වැනිදාට කලින් බොරතෙල් නැවක් ගෙන්වා ගන්න පුළුවන් වෙයි.
අපි හැම විකල්පයක්ම ගැන කල්පනා කරනවා. මේ විකල්ප ඔක්කොම එකට සාර්ථක වුණොත් අපිට අතිරික්තයක් එනවා. නමුත් අපි ඒ අවදානම ගන්නවා. මොකද, අනිත් පැත්තෙන් එකක් හරි අසාර්ථක වුණොත් කුමක්ද වෙන්නේ? අපිට හිඟයක් ඇතිවිය හැකියි. ඒ නිසා සමහරවිට අපි හදලා තියෙන සැලසුම් සියල්ල එකවර හරි ගියොත්, එක් මොහොතකට අපට අතිරික්තයක් ඇති වේවි. හැබැයි අතිරික්තයකට වඩා අපිට හානිකර වන්නේ හිඟයක් ඇති වීමයි. නැව් කිහිපයක් වරායේ හිර වෙන්න පුළුවන්. නමුත් එහෙම වුණාට පස්සේ කියන්න එපා අතිරික්ත නැව් ගෙනත් ඒකට අපතේ සල්ලි ගෙව්වා කියලා. අපි ඒ අවදානමට සූදානමින් තමයි වැඩ කරන්නේ. ඇයි එහෙම කරන්නේ? මේ යුද්ධයේ ස්වභාවය කාටවත් හරියට ගණනය කරගන්න බැරි තත්ත්වයක් මතුවෙලා තිබෙන නිසයි. මේක කවර ආකාරයෙන් වර්ධනය වේවිද කියන එක පිළිබඳ කාටත් අවිනිශ්චිත භාවයක් තියෙනවා. ඒ නිසා ගත හැකි හැම විකල්ප මාර්ගයක්ම අපි අරගෙන තියෙන්නේ.
අපනයනකරුවන් සඳහා ඉන්ධන සැපයීම
දැන් අපි අපනයනකරුවන් හමු වුණා. අපේ රටේ බංකරින් (Bunkering) කරන පෞද්ගලික සමාගම් පහක් ඉන්නවා. ඔවුන් අපෙන් ඉල්ලා සිටියා අපනයන කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන සපයා දෙන්න ඔවුන්ට පුළුවන් කියලා. අපි ඔවුන්ට ක්ෂණික බලපත්‍ර නිකුත් කළා. හැබැයි පොදු වෙළඳපොළට නිකුත් කිරීමේ අයිතියක් ඔවුන්ට නෑ. ඔවුන්ට තියෙන්නේ අපනයනකරුවන්ට (exports) අවශ්‍ය ඉන්ධන සැපයීම පමණයි. ඊයේ පෙරේදා ඉඳන් ඔවුන් අපනයනකරුවන්ට අවශ්‍ය ඉන්ධන සපයා දීලා තියෙනවා. පෞද්ගලික සමාගමකට අපිට වඩා ලේසියි වෙළඳපොලෙන් ක්ෂණිකව මිලදී ගන්න. ආණ්ඩුවක් විදිහට අපි වගකියන්න ඕනේ ඇයි මේක ගත්තේ, කොහොමද ගත්තේ කියලා; නමුත් පෞද්ගලික සමාගම් ඉතා වේගයෙන් මේවා ගෙනල්ලා තිබෙනවා. දැනට ඒගොල්ලෝ අපනයනකරුවන්ට අවශ්‍ය ඉන්ධන නිකුත් කරමින් තිබෙනවා. අපි ඒ ගැනත් විශේෂ සැලකිල්ලක් දැක්වූවා.
රුසියාව සමඟ ගනුදෙනු සහ විපක්ෂයේ චෝදනා
ඊළඟට අපි කල්පනා කළා කොහොමද රාජ්‍යයන් අතර ගනුදෙනු කරන්නේ කියලා. රුසියාව පිළිබඳ වෙළඳ සම්බාධක තිබුණා. ඒක ඉවත් වුණේ 11 වෙනිදා. සමහරු යෝජනා කරනවා ඇයි අපිට රුසියාවත් එක්ක කලින්ම ගනුදෙනුවලට යන්න බැරි වුණාද කියලා. තේරුම් ගන්න, අපේ අපනයනවලින් විශාල ප්‍රමාණයක් තියෙන්නේ එක්සත් ජනපදයට. ඔබට මතක ඇති, අසල්වැසි රාජ්‍යයන්ට පවා මේ ප්‍රශ්නයේදී රුසියාවත් එක්ක තියෙන ගනුදෙනු යම් ප්‍රමාණයකට අඩාල කරන්න සිද්ධ වුණා. ඒක අපි දන්න සත්‍යයක්, මේවා වාර්තා වුණු දේවල්. අපි ප්‍රවේශම්කාරී විය යුතුයි. අද සමහරු මෙතන කොච්චර හඬ නැගුවද 'ඇයි එක්සත් ජනපදයට යන්න බැරි වුණේ, ගියපු කණ්ඩායම මදි නේද, ජනාධිපතිවරයාට පුළුවන් නේද යන්න' කියලා. එතකොට ඔවුන්ගේ මුළු ව්‍යාපෘතිය වුණේ 'එක්සත් ජනපදය යාළු කරගෙන මේක බේරගත්තේ නැත්තේ ඇයි' කියන එකයි. දැන් ඔවුන්ගේ ව්‍යාපෘතිය මොකක්ද? 'රුසියාව යාළු කරගෙන මේක බේරගත්තේ නැත්තේ ඇයි' කියලා මේ පාර්ලිමේන්තුවේම අහනවා. එකම කටින් මොකක්ද මේ කියන්නේ? මේක විහිළුවක් නේ. මම දැක්කා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විතරක් නෙවෙයි, පාර්ලිමේන්තුවෙන් එළියේ ඉන්න අයත් එකට වාඩි වෙලා මේ ගැන කතා කරනවා.
ඒ නිසා මම පැහැදිලිවම කියන්න ඕනේ, විපක්ෂය පාර්ලිමේන්තුව තුළ පමණක් නොව එළියේත් මේ ගැන අවශ්‍ය ඝෝෂාවක් නිර්මාණය කරනවා. අපි මොකද කළේ? රුසියාව සමඟ නැවත ගනුදෙනු කිරීම සඳහා අවශ්‍ය අවස්ථාව අපට ලැබුණේ 11 වැනිදායි. එකොළොස්වැනිදා විවෘතව අවස්ථාව ලැබුණාට පසුව අපි සාකච්ඡා කරන්න පටන් ගත්තා. ඒ සාකච්ඡාවල යම් ප්‍රගතියක් තිබෙනවා. ඉතා ඉක්මනින්ම තමුන්නාන්සේලාට ඒ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්න අපට පුළුවන් වේවි. මම ඉක්මන් වෙන්නේ නෑ. රාජ්‍යයන් අතර ආයතනික සාකච්ඡාවල ප්‍රතිඵල තහවුරු වීමට පෙර ඒවා ප්‍රකාශ නොකළ යුතුයි. ස්ථාවරව ඉන්න. මේ බලශක්ති ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පාලනය කර ගැනීම සඳහා රජයක් හැටියට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ඒ නිශ්චිත මොහොතේ අරගෙන තිබෙන බව මම වගකීමෙන් කියනවා.
ඉන්ධන මිල උච්චාවචනය සහ එහි පදනම
ඊළඟ ප්‍රධාන ප්‍රශ්නය තමයි ඉන්ධන මිල පිළිබඳ ප්‍රශ්නය. දැන් මිල උච්චාවචනය වෙන්න හේතු කිහිපයක් බලපානවා. ප්‍රධාන වශයෙන්:
ඩොලරයේ අගය ඉහළ යාම (ඩොලරයේ අගය ඉහළ ගියොත් ඉන්ධනවල රුපියල් මිල ඉහළ යනවා).
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම. ඊට අතිරේක වශයෙන් බදු තිබෙනවා සහ වංචා දූෂණ වල බලපෑමක් අඩංගු වෙනවා. ඔය ටික තමයි මිල මත ප්‍රධාන වශයෙන් බලපාන්නේ.
අපි 2022-2023 කාලේ බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයට මුහුණ දුන්නා. ඒක මතු වුණේ ලෝක පරිමාණයෙන් බලශක්ති මිල ඉහළ යාම හේතුකොටගෙන නෙවෙයි. එදා ප්‍රධාන ප්‍රශ්නය මතු වුණේ මොකක්ද? ඩොලරයේ අගය ඉහළ යාමයි. උදාහරණයකට ගත්තොත්, ඩොලරයට රුපියල් 185 කට තිබුණු අගය 372 දක්වා ගියා. බ්ලැක් මාර්කට් එකේ 400 දක්වා ගියා. එතකොට එදා ඉන්ධන මිල පෙට්‍රල් ලීටරයක් රුපියල් 137 ඉඳන් 420 දක්වා වැඩි වුණා. එයට හේතුව ලෝක වෙළඳපොලේ මිල උච්චාවචනය වීම නෙවෙයි, බලපෑම වුණේ ඩොලරයේ අගය 185 ඉඳන් ඉහළ යාමයි. ඊළඟට 95 පෙට්‍රල් රුපියල් 161 න් 450 දක්වා ඉහළ ගියා. සාමාන්‍ය ඩීසල් ගත්තොත් 104 ඉඳන් 400 ට ගියා. ඒ ඔක්කොම ඩොලරයට සාපේක්ෂව රුපියල කඩාවැටීමේ බලපෑමයි. ඒක අපිට තියෙන මෑත කාලීන අත්දැකීමක්.
හැබැයි දැන් අර්බුදය මතුවෙලා තියෙන්නේ කොහොමද? දැන් අර්බුදය මතුවෙලා තිබෙන්නේ ලෝක පරිමාණයෙන් ඉන්ධන මිල ඉහළ යාම නිසයි. 92 පෙට්‍රල් ගත්තොත් මාර්තු 2 ඉඳන් මාර්තු 18 වන විට ලෝක වෙළඳපොලේ මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඩීසල් සහ බොරතෙල් මිලත් ඒ විදිහටම ඉහළ ගිහින්. සාමාන්‍යයෙන් තෙල් මිල ගණනය කරන්න තියෙන සරල සූත්‍රයක් මම තමුන්නාන්සේලාට කියන්නම්. ලෝක වෙළඳපොලේ තෙල් මිල ඩොලර් 1 කින් වැඩි වුණොත්, අපේ වෙළඳපොලේ තෙල් මිල රුපියල් 2 කින් වැඩි වීමේ බලපෑමක් ඇති කරනවා. ඒක ගණනය කරන්න අමාරු එකක් නෙවෙයි. එතකොට දැන් බලන්න, ලෝක වෙළඳපොලේ ඩොලර් ගණනාවකින් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. එනම් අපිට තේරුම් ගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයකින් රුපියල්වලින් තෙල් මිල ඉහළ යා යුතුද කියලා. ඔබ අපනයනකරුවන්ගෙන් අහන්න, අර බංකරින් කරන සමාගම් අපනයනකරුවන්ට ඉන්ධන දෙන්නේ කීයටද කියලා. ඒකෙන් දැනගන්න පුළුවන් මාකට් එකේ ඇත්ත මිල මොකක්ද කියලා. ඒ නිසා මේ අවස්ථාවේ ඉන්ධනවල මිල ඉහළ යාම විසින් අපිට විශාල බලපෑමක් සහ ප්‍රශ්නයක් මතුකර තිබෙනවා.
අපි දිගුකාලීන ටෙන්ඩර් ලබාදීලා තිබෙන්නේ ප්‍රිමියම් (Premium) එක ඩොලර් 2.5 කටයි. ඒ කියන්නේ 'සිංගප්පූරු ෆ්ලැට් රේට් ප්ලස් 2.5' (Singapore Flat Rate + 2.5) කියන පදනමටයි. අපේ දිගුකාලීන ටෙන්ඩර් සාමාන්‍යයෙන් ඩොලර් තුනට වඩා අඩුයි. හැබැයි දැන් ප්‍රිමියම් එක ඩොලර් 40 ක් වෙලා තියෙනවා. ඇයි ඒ? සැපයුම්කරුවන්ට ආරක්ෂාව පිළිබඳ සහතිකයක් අවශ්‍යයි. විවිධ රාජ්‍යයන්වල සහ විවිධ සමාගම්වල පොරබැදීමක් තියෙනවා. සමහර ප්‍රිමියම් අගයන් ඩොලර් 31, 35, 45 වගේ ඉහළ ගිහින් තියෙනවා. එතකොට ලෝක වෙළඳපොලේ මිල ඉහළ යාමත්, ප්‍රිමියම් අගය ඉහළ යාමත් විසින් අපේ ඉන්ධන වෙළඳපොළට කොච්චර බලපෑමක් සිද්ධ වෙනවාද කියලා කල්පනා කරන්න. ඒ අනුව ලෝකේ පුරා රටවල් තෙල් මිල වැඩි කිරීම පිළිබඳව තීරණ අරන් තියෙනවා. ආසන්න වශයෙන් 50% දක්වා තෙල් මිල වැඩි වීමක් සිදුවෙලා තියෙනවා. සමහර රාජ්‍යයන් උපරිම වශයෙන් 150% කින් තෙල් මිල ඉහළ දාලා තිබෙනවා. ලෝකයේ වෙනත් රටවල් ගැන ගත්තොත්, තෙල් නිෂ්පාදනය කරන රටවල් හැරුණුකොට අනිත් ඔක්කොම රටවල් අපිට වඩා විශාල ප්‍රතිශතයකින් මිල ඉහළ දැමීමක් කරලා තිබෙනවා.
පෞද්ගලික අංශයේ දායකත්වය සහ තෙල් මිල තීරණය කිරීම
එතකොට දැන් අපි තෙල් මිල පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දීලා තියෙනවා. අපේ තෙල් සැපයුමෙන් 57% ක් සපයන්නේ ඛනිජ තෙල් සංස්ථාවයි (CPC). තෙල් සංස්ථාව විතරක් අපේ අතේ තිබුණා නම්, මේ වෙලාවේ පාඩු ලබලා අනිත් වෙලාවට ලාභ ලබනවා කියලා අපිට මේක කළමනාකරණය කරගන්න පුළුවන්. ලෝක වෙළඳපොලේ මිල වැඩි වෙච්ච වෙලාවට ටිකක් අඩුවට විකුණලා, අඩු වෙන වෙලාවට ටිකක් වැඩියෙන් විකුණලා බැලන්ස් කරගන්න පුළුවන්. අවුරුද්ද අන්තිමට ලාභ පාඩු ගණනය කරන්න පුළුවන්.
හැබැයි අපේ තෙල් වෙළඳපොළෙන් 43% ක් තියෙන්නේ පෞද්ගලික අංශය සතුවයි. පෞද්ගලික සමාගම් කියන්නේ, ඔවුන් මේ මොහොතේ ගේන තෙල් මාකට් එකට දානකොට, ඒ මිල ලබා දෙන්නේ නැත්නම් ඔවුන් තෙල් ගේන්නේ නෑ කියලයි; ඒක ඔවුන්ගේ පැත්තෙන් සාධාරණයි. ඔවුන්ගේ ගණනය කිරීම්වලට අනුව එක නැවකින් ඔවුන්ට සිදුවන පාඩුව ඩොලර් මිලියන 55 ක් වෙනවා. එහෙම පාඩු ලබන්න කවුරුත් කැමති නෑ. ඒ නිසා අපේ ඉන්ධන සැපයුමට එම පෞද්ගලික සමාගම්වල දායකත්වයත් අත්‍යවශ්‍යයි. ඔවුන් ඒ දායකත්වය ලබා දෙන්නේ තමන්ගේ පිරිවැයට (cost) අනුව විකුණන්න අවස්ථාව ලැබුණොත් විතරයි. ඒ නිසා මම හිතන්නේ ඉන්ධන මිල පිළිබඳව අපි ඉතා ඉක්මනින් තීරණයකට පැමිණිය යුතුයි.
ඛනිජ තෙල් පනත සහ පෞද්ගලික සමාගම්වල මිල තීරණය කිරීම
දැන් අපේ පනත සහ ගැසට් නිවේදන අනුව යම් ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. පෞද්ගලික සමාගම් සමඟ ඇතිකරගත් ගිවිසුම් (Agreements) හරහා ඔවුන්ට මිල තීරණය කරන්න අපි අවසර දීලා තියෙනවා. හැබැයි ඛනිජ තෙල් පනතට (Petroleum Act) අනුව, උපරිම මිල තීරණය කිරීමේ බලය පැවරී තියෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටයි (CPC). අපි මේ සමාගම් එක්ක ගිවිසුම්වලට ගියත් පනතේ ඒ සඳහා අවශ්‍ය සංශෝධන කරලා නෑ. ඒ අනුව පෞද්ගලික සමාගම්වල ඉන්ධන සඳහා උපරිම මිල තීරණය කළ යුත්තේ ඛනිජ තෙල් සංස්ථාවයි. නමුත් ගිවිසුමේ තියෙනවා ඔවුන්ට මිල තීරණය කළ හැකියි කියලා. අපි ඒ පිළිබඳව දැඩි සැලකිල්ලට භාජනය කරමින් ඉන්නවා.
හැබැයි මම හිතනවා, තෙල් සංස්ථාවයි පෞද්ගලික සමාගම් අතරයි මිල පරතරය (Gap) රුපියල් 100 ක්, 150 ක් තරම් විශාල වුණොත්, පුරවැසියන් පෞද්ගලික සමාගම්වලින් තෙල් ලබාගන්න යන්නේ නෑ. වෙළඳපොළේ මිල වැඩිවීම අනුව රුපියල් 100 ක - 150 ක විතර පරතරයක් හැදෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් පෞද්ගලික සමාගම් වෙත කවුරුත් යන්නේ නෑ; පැය හයක් හතක් පෝලිමේ ඉඳලා හරි ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) පෝලිමටම එයි. ඒ නිසා අපි බලන්න ඕනේ මේ දෙක අතර පරතරය අඩු කරගන්න.
බදු ආදායම සහ ඉලක්ක සහගත සහනාධාර (Targeted Subsidies)
ඒ වගේම අපි තව කාරණයක් කල්පනා කළා. අපේ තෙල්වලින් ලැබෙන බදු ආදායම මාසෙකට රුපියල් බිලියන 20 යි. ගිය අවුරුද්දේ බිලියන 240 ක ආදායමක් ඇවිල්ලා තියෙනවා. මේ පෙට්‍රල්, ඩීසල් සඳහා ගහන බද්ද හොඳින් තේරුම්ගන්න. 2003 වසරේදී තෙල් සංස්ථාවේ රුපියල් බිලියන 884 ක ණය භාණ්ඩාගාරය විසින් පවරාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් මේ ණය තොගයේ පොලිය විතරක් ගෙවන්න අවුරුද්දකට බිලියන 100 ක් අවශ්‍යයි. ඒ නිසා තමයි බදුවලින් යම් ප්‍රමාණයක් භාණ්ඩාගාරයට එන්නේ.
අපි බලනවා මේ බදුවලින් යම් සහනයක් ජනතාවට ලබා දෙන්න. සමහරු අහනවා "ඇයි බදුවලින් සහනයක් ලබා දෙන්න බැරි?" කියලා. හැබැයි බදුවලින් සහනයක් දුන්නොත් මොකද වෙන්නේ? වැඩියෙන් තෙල් ගහන කෙනාට (වැඩිපුර වාහන පාවිච්චි කරන කෙනාට) වැඩියෙන් වාසියක් ලැබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපත්තිය සහ අපේ ප්‍රතිපත්තිය ගත්තොත්, ඇත්තටම අපි සහනාධාර ලබාදිය යුත්තේ "ඉලක්ක සහගත ප්‍රජාවකට" (Targeted groups) පමණයි. සාමාන්‍ය වෙළඳපොළේ තෙල් මිල වෙළඳපොළ මිලටම යනවා; හැබැයි ඉලක්ක සහගත ප්‍රජාවට අපි එය සහනාධාරයක් ලෙස ලබා දෙනවා.
හැබැයි මේ ඉලක්ක සහගත ප්‍රජාවට සහනාධාර ලබාදීමේදී අපිට යම් සංකීර්ණතාවයක් තියෙනවා. උදාහරණයක් විදිහට, ධීවර වරායෙන් එළියට යන බෝට්ටුවට අමතරව වරායෙන් පිටත තවත් බෝට්ටු 30,000 ක් විතර තියෙනවා. අපි ඔවුන්ට සහනාධාර ලබාදෙන්නේ කොහොමද? කෘෂිකර්මාන්තය ගත්තොත්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවූ ගොවීන් ඉන්නවා. ඒ වගේම උදේට පාරේ බනිස් විකුණන, චූන් පාන් වෑන් රථ වගේ ස්වයං රැකියා කරන අයට අපි කොහොමද සහනාධාර දෙන්නේ? ඒ සඳහා ක්‍රමවේදයක් නෑ. මේ ඉලක්ක සහගත ප්‍රජාවට සහනාධාර දෙන එක හොඳම දෙයක් වුණත්, අපේ තියෙන දත්ත සහ තොරතුරු ප්‍රමාණවත් නෑ. අපේ තියෙන අවිධිමත් ආර්ථිකය (Informal economy) ඉතා ලොකුයි. විධිමත්ව ලියාපදිංචි වූ අයට සහනාධාර දෙනවා නම් පහසුයි; හැබැයි අවිධිමත් ආර්ථිකය තමන්ගේ ජීවනෝපාය කරගත් පිරිසක් ඉන්නවා. ඔවුන් ඉලක්ක කරගැනීම සංකීර්ණයි. ඒ නිසා අපි මේ දෙකම කල්පනා කරමින් ඉන්නවා: ඉලක්ක සහගත ප්‍රජාවට පමණක් සහනාධාර දෙනවද, එහෙම නැත්නම් සියල්ලන්ටම සහනයක් ලබා දෙනවාද කියන එක ගැන.
QR කේතය, කලු කඩ මර්දනය සහ මිල තීරණ
තෙල් මිල පිළිබඳ තීරණය ඉතා ඉක්මනින් ගත යුතුයි. එහෙම නැත්නම් පෞද්ගලික සමාගම් තමන්ගේ ඇණවුම් (Orders) නතර කරනවා. ඔවුන් පාඩු ලබන්න සූදානම් නෑ. තෙල් සංස්ථාවට නම් බිලියන 884 ක් පාඩු ලබන්න පුළුවන් වුණා, පාඩු ලැබීම පිළිබඳව තෙල් සංස්ථාවට හොඳ ඉතිහාසයක් තියෙනවා. නමුත් වෙළඳපොළේ 48% ක් ඉන්න පෞද්ගලික සමාගම්වලට මිල පිළිබඳ යම් සහතිකයක් අවශ්‍යයි. එහෙම නැත්නම් ඔවුන් නැව් ගේන්නේ නැති වෙනවා. ඒ නිසා අපි ඉන්ධන මිල පිළිබඳ ඉක්මන් තීරණයක් ගත යුතුයි.
මිල තීරණය කිරීමේදී QR කේතය (QR code) ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් සුපුරුදු පරිදි අප්‍රේල් 1 වෙනිදා මිල ගළපනවා කිව්වහම, 27, 28, 29 වෙනකොටම මිනිස්සු ෂෙඩ්වල (Sheds) ගහගන්නවා, තෙල් පෝලිම් හැදෙනවා. ඒ නිසා තමයි අපි උත්සාහ කළේ QR කේතය නැවත සක්‍රීය කරන්න. දැන් අපිට ඩිජිටල් අමාත්‍යාංශයෙන් ඒ තාක්ෂණික බාධාවන් ඉවත් කරලා සාර්ථකත්වය ලබාදීලා තියෙනවා. දැන් තෙල් වැඩි වෙනවා යැයි කියන උපකල්පනයෙන් ගිහිල්ලා කාටවත් තෙල් එකතු කරලා තියාගන්න බෑ, මොකද QR කේතය තියෙනවා. ඒ වගේම කවුරුහරි ෂෙඩ් හිමියෙක් ඊට පරිබාහිරව කටයුතු කරනවා නම් අපි ඔවුන්ගේ බලපත්‍රය (License) අවලංගු කරනවා, ඒක මතක තියාගන්න.
ඒ වගේම කවුරු හරි කෙනෙක් මේ අවස්ථාව උපයෝගී කරගෙන තමන්ගේ කළු ආර්ථිකය (Black economy/ പാතාල ආර්ථිකය) සඳහා තෙල් එකතු කරලා තියෙනවා නම් ඒවා වටලන්න මම පොලිස්පතිතුමාට කතා කළා. ඊයේ දවසේ පමණක් එක් තැනකින් නීතිවිරෝධීව ගබඩා කළ තෙල් ලීටර් 19,000 ක් අත්අඩංගුවට ගත්තා. මේ කළු කඩකාරයන්ට අපි ඉඩ දෙන්නේ නෑ, උපරිම වැටලීම් කරනවා. අපේ අභිප්‍රාය තමයි අඛණ්ඩව බලශක්තිය සැපයීම සහ ලෝක වෙළඳපොළේ ඉහළ යන මිලට අපේ ආර්ථිකය ගළපන එක.
ගෑස් සැපයුම සහ මාෆියාව (Cartels) බිඳ හෙළීම
ඊළඟට අපි ගෑස් ගැන අවධානය යොමු කළොත්, ගෑස්වලට මුළුමනින්ම අපිට සැපයුම්කරුවන් ඉන්නේ එක්කෙනයි - ඒ අපේ ලිට්රෝ (Litro) සමාගම. අපි ඔවුන්ට දිගු කාලීන ටෙන්ඩර් ලබාදීලා තියෙනවා. ඒ වගේම පෞද්ගලික මාකට් එකට නිකුත් කරන තව සමාගමකුත් ඉන්නවා. අපේ ලිට්රෝ සමාගමේ ධාරිතාව 180 යි, පෞද්ගලික සමාගම 120 යි. අපේ මේ සැපයුම් දාමයේ ලොකු කාටල (Cartels / ඒකාධිකාරී මාෆියාවන්) හැදිලා තියෙනවා.
දීර්ඝ කාලයක් තිස්සේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන නම්බර් ප්ලේට් දුන්නේ අවුරුදු විසි ගණනක් එකම සමාගමකින්. පාස්පෝට් දුන්නේ දීර්ඝ කාලයක් තිස්සේ එකම සමාගමකින්. ඉන්ධන සහ ගල් අඟුරු සැපයුවේ දීර්ඝ කාලයක් තිස්සේ එකම සමාගමකින්. ගෑස් ගෙනාවෙත් එහෙමයි. අපි මේ කාටල කඩනවා! මේවාට සම්බන්ධ දේශපාලන අධිකාරීන් සහ නිලධාරීන් ඉන්නවා, කළු ව්‍යාපාරිකයින් ඉන්නවා. අර පාස්පෝට් එක චුට්ටක් වෙනස් කළාම ඔවුන් අර්බුදයක් හදනවා. ගෑස් ටෙන්ඩරය වෙනස් කළාම අර්බුදයක් හදනවා. ගල්අඟුරු ටෙන්ඩරය වෙනස් කළාම කෑගසනවා, සල්ලි දීලා කෑ ගස්සවනවා. අවුරුදු 15 - 20 ක්, සමහරවිට අවුරුදු 28 ක් තිස්සේ දේශපාලන අධිකාරියේ ආශිර්වාදය මත එකම සැපයුම්කරු මේවා කළේ. ඒකට නිලධාරීන්ට අල්ලස් දීලා තියෙනවා, මාධ්‍ය ආයතනවලට සල්ලි පොම්ප කරලා තියෙනවා.
අපි මේ විදියට කාටල බිඳිනකොට ඔවුන් මොකද කරන්නේ? බොරු මත හදනවා, බොරු ප්‍රවෘත්ති හදනවා. රහසේ තොරතුරු දීලා 'මාර්තු මාසේ ගෑස් හිඟයක් එනවා' කියලා ලියවනවා. අද මේවා වෙන්නේ මේ කාටලවල නියෝජිතයෝ හරහායි. අපි ඒ කාටල කඩනවා. ඒ කැඩුවම අර අවුරුදු විසි ගණනක් තිබ්බ සුවපහසුව නැති වෙන නිසා මේගොල්ලෝ කලබල වෙලා. හැබැයි අපි ඒ කාටල නොකැඩුවා නම් අද රටේ ගෑස් නෑ. මොකද දීර්ඝ කාලයක් දුන්නේ එකම කලාපයක එකම සමාගමකට. අපි අලුත් සමාගමක් වෙත ගියා, ඒ සමාගම මැදපෙරදිග කලාපයේ. ඒ නිසා තමයි අද ගෑස් සැපයුම අඛණ්ඩව තියෙන්නේ. අපි කල්පනා කරනවා මේ සැපයුම් දාමය විවිධාංගීකරණය (Diversify) කළ යුතුයි කියලා. එකම කලාපයකට සීමා නොවී, යුරෝපා කලාපය, මැදපෙරදිග කලාපය වගේ වෙන වෙනම ටෙන්ඩර් කැඳවලා සැපයුම ලබාගන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඕනෑම කලාපයක ඇතිවන අර්බුදයකදී අපිට ස්ථාවර භාවය ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ.
ගෑස් තොග සහ කර්මාන්ත සඳහා සැපයුම
ඒ අනුව ගෑස් සමාගමේ ප්‍රශ්නයක් මතුවෙන්නේ නෑ. මාර්තු මාසයට අවශ්‍ය මෙට්‍රික් ටොන් 38,000 න් කොටසක් දැනටමත් ඇවිල්ලා තියෙනවා. අපේ පාවෙන ගබඩාවේ තව 30,000 ක් තියෙනවා, ඒක අද ඊයේ බානවා. අනිත් ටොන් 30,000 අප්‍රේල් මාසයට නියමිතව තියෙනවා. ඒ නිසා අපිට දුර දක්වා ගෑස් අර්බුදයක් ඇතිවීමේ හැකියාවක් නෑ.
හැබැයි වෙළඳපොළේ සමහර තැන්වල ගෑස් හිඟයක් මතු වෙලා තියෙනවා. ඇයි ඒ? පෞද්ගලික සමාගම්වලට වැඩිම ලාභය තියෙන්නේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර සැපයීමෙන් නෙවෙයි, තොග වශයෙන් කර්මාන්තවලට (උදාහරණයක් ලෙස හෝටල්වලට) ගෑස් දීමෙනුයි. හෝටල් හිමියන් වැඩිපුරම ගිවිසුම් ගහලා තියෙන්නේ පෞද්ගලික සමාගමත් එක්ක. ඒ පෞද්ගලික සමාගම් ගෑස් සපයන්න බැරි වුණාම, ලිට්රෝ සමාගමට ඒ හෝටල්වලටත් ගෑස් දෙන්න සිද්ධ වෙනවා; මොකද අපිට ආර්ථිකය වට්ටන්න බැහැ.
ඒ අතර පෞද්ගලික සමාගම්වලට ආයෝජන මණ්ඩලය (BOI) යටතේ අපනයනය කරන්න (Export) ගෙනෙන ගෑස්වලින් 20% ක් දේශීය මාකට් එකට දාන්න අවසර තිබුණා. නමුත් පහුගිය කාලේ ඔවුන් එක්ස්පෝට් කළේ නෑ, බංග්ලාදේශයේ, මියන්මාරයේ අර්බුද නිසා ඔවුන්ට ඒ මාකට් එකට යන්න බැරි වුණා. ඒ නිසා අපි ඔවුන්ට තාවකාලිකව මාස 3 කට අවසර දුන්නා, සියලු බදු සහිතව ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණය දේශීය මාකට් එකට දාන්න. ඒ වගේම හම්බන්තොට තියෙන ටොන් 30,000 ක ඔවුන්ගේ ගබඩා සංකීර්ණයේ ගෑස් ගබඩා කරගන්නත් අපි අවසර දුන්නා. මොකද ආණ්ඩුව ගෙනාවත්, පෞද්ගලික අංශය ගෙනාවත් මේ අර්බුද වෙලාවේ රට තුළ ගෑස් තබාගත යුතු නිසයි. මේවා පසුව වෙන වෙන විදිහට අර්ථකථනය කරන්න එපා. අපි බලශක්ති දාමය ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු හැම පියවරක්ම කඩිනමින් අරගෙන තිබෙනවා.
2025: ආර්ථිකයේ ස්වර්ණමය සන්ධිස්ථානය
මේ තීන්දු තීරණ ගැනීමේදී අපි 2025 වර්ෂය (හෝ ඉදිරි වර්ෂය) පිළිබඳව අවධානය යොමු කළා. එය අපේ ආර්ථිකයට ඉතාමත් වැදගත් වර්ෂයක්. අපේ රටේ ඓතිහාසික සහ ඉතාමත් දියුණු ආර්ථික දත්ත වාර්තා කරපු වසර බවට එය පත්වෙනවා.
ලංකා ඉතිහාසයේ කොච්චර ආණ්ඩු පොරබැදුවද අයවැය හිඟය 5% ට වඩා අඩුවෙන් තියාගන්න. නමුත් ඒ අයට බැරි වුණා. හැබැයි අපි අයවැය හිඟය (Budget Deficit) 2.4% දක්වා පහළට ගෙනැල්ලා තියෙනවා. ලංකාවේ කවුරුත් ආසා කළා ජංගම ගිණුමේ ධන අතිරික්තයක් (Current Account Surplus) වාර්තා කරන්න. ලංකා ඉතිහාසයේ එහෙම වුණු අවස්ථා හතරක් විතරයි තියෙන්නේ, ඒවත් ඩොලර් මිලියන 500 ට වඩා අඩුයි. හැබැයි අපි ඩොලර් බිලියන 1.8 ක ජංගම ගිණුමේ ධන අතිරික්තයක් වාර්තා කරනවා. එය ආර්ථිකයේ ඉතාමත් වැදගත් සාධකයක්.
ඒ වගේම ආදායම; 2022 දී ඉතාමත් අමනෝඥ තීන්දු තීරණ (විද්‍යාත්මක පදනමක් නැති බදු කප්පාදු, කෘෂිකර්මාන්තය විනාශ කිරීම) නිසා අපේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.5% ට අඩු වුණා. 2022 අර්බුදය ආකාර දෙකකින් මතුවුණා: 1. ඩොලර් අර්බුදය, 2. රුපියල් අර්බුදය. රුපියල් අර්බුදයට විසඳුම් විදිහට මුදල් අච්චු ගැහුවා. ඒකේ ප්‍රතිවිපාකයක් විදිහට උද්ධමනය (Inflation) 70% ට ගියා. ඩොලරය කළු කඩේ රුපියල් 400 ට ගියා. ඒ වැරදි ප්‍රතිපත්තිවල ප්‍රතිඵල. නමුත් අද වෙද්දි අපේ බදු ආදායම 15.8% ක් ඉක්මවා ගොස් සමස්ත ආදායම 14.2% කට (දළ වශයෙන්) එනවා. එය දශක ගණනාවකට පසු ලංකාවේ වාර්තා වන වැඩිම ආදායමයි.
අද අපි උද්ධමනය ඉතා පහළ මට්ටමක තියන් ඉන්නවා. බැංකු පොලී අනුපාතිකය (Interest Rates) මාස 17 ක් පුරාවටම තනි ඉලක්කමේ (8% ට ආසන්නව) තියාගෙන ඉන්නවා. අතීතයේ බැඳුම්කරවල පොලී අනුපාතිකය 30% ට විතර ගියා මතක ඇතිනේ. අද ඉතාමත් ශක්තිමත් දත්ත වලින් අපේ ආර්ථික ප්‍රගතිය පෙන්නුම් කර තියෙනවා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආරක්ෂක පියවර
අපි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ (SriLankan Airlines) ඩොලර් මිලියන 105 ක (හෝ 500 ක) ණය භාණ්ඩාගාරයට පවරා ගැනීමේ ගිවිසුම අද අත්සන් කරනවා. කැබිනට් මණ්ඩලයේදී අපි ඒකට අනුමැතිය දුන්නා. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් (Ratings) ලබාදීමේදී මේ ණය අර්බුදය අපිට විශාල බාධාවක් වෙලා තිබුණේ. අද අත්සන් කරන මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් නිසා අපේ ආර්ථිකය ප්‍රශස්ත තැනකට එනවා. මේක අපිට අඛණ්ඩව අවුරුදු හතරක් පහක් ගෙනියන්න තිබුණා නම් බාහිර සහ අභ්‍යන්තර ඕනෑම කම්පනයකට ඔරොත්තු දෙන ආර්ථිකයක් හැදෙනවා.
අපි සැපයුම් දාමය අඛණ්ඩව පවත්වා ගන්න අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටු සකස් කර තිබෙනවා. උත්සව සමයට අවශ්‍ය භාණ්ඩ තොග එක්රැස් කරගැනීම, තේ දළු කර්මාන්තශාලාවට ගෙන යාම, ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය ඉන්ධන ලබා දීම, ධීවර හා යල කන්නයේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඉන්ධන සැපයීම මේ හැමදේම දවස් දෙකකට සැරයක් කමිටු රැස්වෙලා තීන්දු තීරණ අරන් ක්‍රියාත්මක කරනවා. අත්‍යවශ්‍ය තැන් හඳුනාගෙන අපි ප්‍රමුඛතාව ලබා දෙනවා.
ඒ වගේම, රාජ්‍ය සේවයේ බලශක්ති වියදම 25% කින්වත් ඉතිරි කර ගැනීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දීලා තියෙනවා. අත්‍යවශ්‍ය නොවන කාර්යාල වසා තැබීම වැනි පියවර අපි ගන්නවා.
ආරක්ෂාව පැත්තෙන් ගත්තොත්, නාවික හමුදාවට සහ ආරක්ෂක අංශවලට මුහුදු සීමාව ආරක්ෂා කරගැනීම සඳහා මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන ලබා දීලා තියෙනවා. ඒ නිසා තමයි පහුගිය දවස්වල ලංකාවේ වැඩිම කොකේන් තොගය (කිලෝ 270 ක්) අල්ලගන්න අපිට පුළුවන් වුණේ. ආරක්ෂක ජාලය බිඳ වැටෙන්න අපි ඉඩ දෙන්නේ නෑ. සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තොත්, මාස දෙකකින් තෙල් ඉවර වුණත් සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යන්න අමතර සති හයක ආරක්ෂිත තොග අපි ගබඩා කරලා තියෙනවා. වරාය සහ ගුවන්තොටුපළටත් ආරක්ෂිත තොග ලබාදීලා තියෙනවා.
අවසානය
අවසන් වශයෙන් ගත්තොත්, ආර්ථිකයේ මේ සුමටව ගියපු ගමනේ යම් යම් බාධා සහ ගැටුම් ඇතිවෙන්න පුළුවන්. බලශක්ති මිල අධික වීම නිසා යම් ක්ෂේත්‍රවලට බලපෑමක් ඇති වෙනවා. ඒ බලපෑම සමනය කරලා ජනතාවට සහන ලබා දීම පිළිබඳව අපි අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අදාළ ක්ෂේත්‍ර කැඳවලා සාකච්ඡා කරමින් ඉන්නවා.
ජනතාවට අපි කියන්නේ මේ ගෝලීය අර්බුදයත් එක්ක අපිට යම් ව්‍යාකූලත්වයක් මතු වෙලා තියෙනවා. නමුත් අපි උපරිම උත්සාහ කරනවා විශ්වාසවන්ත ලෙස මේ සැපයුම් ජාලය ශක්තිමත් කරන්න. කැබිනට් මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු සහ ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් දවස් ගණන් නිදිමරාගෙන මේ රට වෙනුවෙන් විශාල වෙහෙසක් දරනවා. ඒ තම වැටුප වෙනුවෙන් විතරක් නෙවෙයි, මේ රටේ වගකීම වෙනුවෙනුයි. ඒ නිසා යම් සැපයුම් අඩාල වීමක් හෝ ඉන්ධන මිල ඉහළ යාමක් වුණොත්, එය අපි සමනය කර ගමු. ඒ සඳහා අවශ්‍ය සහාය සහ මැදිහත්වීම සියලු ප්‍රජාවගෙන් අපේක්ෂා කරමින් මම නතර වෙනවා.
බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි.

