මහනුවර මහයියාව ප්‍රදේශයේ පිහිටි ලෙක්සිකෝන් ජාත්‍යන්තර පාසලකදී එම පාසලේම තිලක් රාජකරුණා නමැති අධ්‍යක්ෂවරයාගේ රථයට යටවීමෙන් හත් හැවිරිදි පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්වීමේ අතිශය කනගාටුදායක පුවතක් පසුගියදා වාර්තා විය. රවිඳු කුමාරගේ නැමැති මෙම කුඩා දරුවාගේ මව විදේශගතව ඊශ්‍රයාලයේ සිටින බැවින්, ඇය දිවයිනට පැමිණෙන තුරු දරුවාගේ දේහය දින පහක් පුරා මහනුවර පිහිටි මල් ශාලාවක තැන්පත් කර තැබීමට පවුලේ ඥාතීන්ට සිදුව තිබේ.
මේ දිනවල යුද්ධයක් පවතින නිසා මවට නිවසට පැමිණීමද දුෂ්කරතා ඇති කර තිබේ.මියගිය දරුවාගේ පියා වන සරත් කුමාරගේ මහතා පවසන පරිදි, ඔහු සිය පුතුන් තිදෙනාම පසුගිය 12 වැනිදා සුපුරුදු පරිදි පාසල වෙත ඇරලවා ඇත. දරුවන් පාසල් ගේට්ටුවෙන් ඇතුළු වූ පසු නිවසට පැමිණි ඔහුට පෙරවරු 10.40 ට පමණ දුරකථන ඇමතුමක් මඟින් දැනුම් දී ඇත්තේ බාල පුතුට අනතුරක් සිදුවී මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි. වහාම රෝහල වෙත ගිය ඔහුට එහි සිටි විදුහල්පතිවරයා සහ වෛද්‍යවරයකු විසින් දරුවා මියගොස් ඇති බව පවසා ඇති අතර, සිය පුතුගේ මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් මෙන්ම මෙවැනි ඛේදවාචකයක් යළි කිසිදු දරුවකුට අත්නොවීමට වගබලා ගන්නා ලෙස ඔහු බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියි.
පවුලේ ආර්ථිකය ගොඩනැංවීමේ අරමුණින් මීට මාස අටකට පමණ පෙර දරුවාගේ මව ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා පිටත්ව ගොස් ඇති අතර, මුලින් දරුවා දැඩි සත්කාර ඒකකයේ සිටින බවට පවසා ඇයට මෙම කම්පනය දරාගැනීමට පහසු වන ලෙස පවුලේ අය කටයුතු කර ඇත. එහෙත් අන්තර්ජාලය හරහා සංසරණය වූ තොරතුරු මඟින් ඇය සත්‍ය දැනගෙන ඇති අතර, ඇය දිවයිනට පැමිණෙන තුරු දේහය මල් ශාලාවක තැන්පත් කර තිබේ. මේ අතර, මියගිය දරුවාගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනා වන අට වසරේ සහ හය වසරේ ඉගෙනුම ලබන සිසුන් තවමත් සිතා සිටින්නේ තම මල්ලීට හුදෙක් තුවාල පමණක් සිදුවී ඇති බවයි. දරුවන්ට පාසල් යාමේ පහසුව තකා මෙම පවුල පොල්ගොල්ල ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි බවද වාර්තා වේ.
මෙම හදිසි වියෝව පවුලේ සෙසු සාමාජිකයන්ට ද දැඩි කම්පනයක් ගෙන දී ඇති අතර, මියගිය දරුවාගේ මවගේ පියා වන 85 හැවිරිදි ඒ.ජී. අප්පුහාමි මහතා සඳහන් කළේ අනතුර සිදුවූ දින උදෑසන දරුවන් තිදෙනාම තමන්ට දුරකථනයෙන් කතා කළ බවයි. එක්තැන්ව සිටින රෝගී මිත්තණියට මෙම පුවත පැවසුවහොත් ඇයට එය කිසිසේත්ම දරාගත නොහැකි වනු ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එසේම, දරුවාගේ දේහය හඳුනාගත් මවගේ සහෝදරයා වන එස්.කේ. බණ්ඩාර මහතා අවධාරණය කළේ, ආරක්ෂිත විය යුතු පාසලක් තුළ මෙවන් අනතුරක් සිදුවීම සුළුවෙන් තැකිය නොහැකි බැවින් වරදකරුවන්ගේ තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතු බවයි.
මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කසුන් බණ්ඩාර ඒකනායක මහතා විසින් පසුගිය 13 වැනිදා සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ, රිය අනතුරකින් සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි. අනතුර සිදුකළ බවට සැකකෙරෙන අදාළ ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂවරයා මහනුවර පොලීසියේ රථවාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාර හක්මන මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රදීප් කොට්ටගොඩ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

