a-38-metric-ton-oil-tanker-has-arrived-at-the-port-of-colombo

ඊයේ (16) දිනයේදී ඉන්ධන මෙට්‍රික් ටොන් 38,000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ළඟා වූ බවත්, එම ඉන්ධන තොගය ගොඩබෑමේ කටයුතු එදිනම ආරම්භ කළ බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කරන පරිදි, මෙම නෞකාව මගින් ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000ක් සහ සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් මෙරටට රැගෙන විත් තිබේ.

එමෙන්ම, මේ වන විට ඇණවුම් කර ඇති සියලුම ඉන්ධන නෞකා නියමිත කාලසටහනට අනුව සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවට පැමිණෙමින් පවතින බවද ඔහු තහවුරු කළේය.




මේ අතර, ඊයේ දිනය වන විට දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් මගින් යොමු කර තිබූ ඇණවුම් සඳහා ඉන්ධන නිකුත් කිරීමද මේ වන විට ක්‍රියාත්මක කර ඇත. ඒ යටතේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) වෙතින් ඇණවුම් 616ක්, ලංකා අයි.ඕ.සී. (LIOC) සමාගමෙන් ඇණවුම් 204ක්, සිනොපැක් (Sinopec) සමාගමෙන් ඇණවුම් 247ක් සහ ආර්.එම්. පාර්ක් (RM Parks) සමාගමෙන් ඇණවුම් 248ක් වශයෙන් බෙදාහැරීමේ කටයුතු සිදු කර තිබේ. මීට අමතරව, මගී ප්‍රවාහන බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා සැපයීමට ගෙන ඇති තීරණය මත, ඊයේ උදෑසන සිටම අදාළ ඩිපෝ වෙත ඉන්ධන බවුසර් පිටත් කර යැවීමටද පියවර ගෙන ඇත.

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමවේදය සම්බන්ධයෙන් වංචනික ක්‍රියා වාර්තා වී ඇති බැවින් ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස කළමනාකරණ අධ්‍යක්ෂවරයා මහජනතාවට අනතුරු අඟවයි. ඛනිජ තෙල් සංස්ථාවේ නම අවභාවිත කරමින් ව්‍යාජ වෙබ් අඩවි සහ ගිණුම් හරහා පුද්ගලික දත්ත රැස් කරන පිරිස්, එම දත්ත යොදාගෙන වෙනත් පුද්ගලයන්ගේ නමින් QR කේත සකස් කිරීමට උත්සාහ කරන බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙවැනි වංචාවන්ට හසු වුවහොත් නියමිත හිමිකරුට තම QR කේතය අලුතින් සකස් කර ගැනීමේ අවස්ථාව අහිමි වී යන බැවින්, රජයේ නිල වෙබ් අඩවිය වන fuelpass.gov.lk හැර වෙනත් කිසිදු බාහිර පාර්ශ්වයකට හෝ වෙබ් අඩවියකට තම තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස ඔහු ඉල්ලා සිටියි. තවද, ජංගම දුරකථන අංක හෝ වාහන වෙනස් වීම හේතුවෙන් ලියාපදිංචි වීමේ අපහසුතාවන්ට මුහුණ දී සිටින පාරිභෝගිකයන්ගේ ගැටලු කඩිනමින් විසඳීමට මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.