ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි 'ඔමිඩ්' මත්ද්‍රව්‍ය නිවාරණ සහ පුනරුත්ථාපන රෝහලට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 400 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් 250 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව ඇෆ්ගන් තලේබාන් රජය පවසයි. 2026 මාර්තු මස 16 වැනි දින රාත්‍රී 9.00 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඇඳන් 2000 කින් සමන්විත මෙම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් බහුතරයක් මෙම ඛේදවාචකයට ගොදුරු වී තිබේ.
මෙම ප්‍රහාරය පාකිස්ථානය විසින් එල්ල කරන ලද්දක් බවට ඇෆ්ගනිස්ථානය චෝදනා කරයි. තලේබාන් රජයේ ප්‍රකාශක සබීහුල්ලා මුජාහිඩ් සහ නියෝජ්‍ය ප්‍රකාශක හම්දුල්ලා ෆිට්රාට් මෙම සිදුවීම දැඩිව හෙළා දකිමින් ප්‍රකාශ කර සිටියේ, මෙය තම ගුවන් සීමාව උල්ලංඝනය කිරීමක් මෙන්ම මානුෂීය ප්‍රතිපත්ති කඩ කරන සිවිල් වැසියන් සමූලඝාතනය කළ "මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්" බවයි. ප්‍රහාරයෙන් රෝහල් ගොඩනැගිල්ලේ විශාල කොටසක් විනාශ වී ඇති අතර, හටගත් ගින්න මැඩපැවැත්වීමට සහ සුන්බුන් අතර ඇති මළ සිරුරු සෙවීමේ මෙහෙයුම් සඳහා සහන කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක නිරත වෙමින් සිටිති.
ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී රෝහල තුළ සිටි ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ සවස යාඥාවෙන් පසුව බෝම්බ තුනක් පුපුරා ගිය බවයි. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි අහමඩ් සඳහන් කළේ මුළු ප්‍රදේශයම ගිනිගත් බවත්, තම මිතුරන් ගින්නට මැදිවී දැවෙන අයුරු දැකීම ලෝකාන්තය උදාවූවාක් මෙන් දැනුණු බවත්ය. ගිලන්රථ රියදුරෙකු වන හාජි ෆහීම් ප්‍රකාශ කර ඇත්තේ සෑම තැනකම මිනිසුන් ගිනිගන්නා ආකාරය තමන් දුටු බවත්, තවමත් සුන්බුන් යට මළ සිරුරු පවතින බැවින් අඛණ්ඩව සෙවීම් සිදු කරන බවත්ය. සිය ආදරණීයයන්ට සිදුවූයේ කුමක්දැයි දැනගැනීමේ අපේක්ෂාවෙන් සහ ඔවුන්ගේ සිරුරු හෝ සොයාගැනීමේ අරමුණින් පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් රෝහල් භූමියට රැස්ව සිටින අයුරු වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම සිවිල් වැසියන් ඝාතනය කිරීමේ චෝදනාව පාකිස්ථාන රජය විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත. පාකිස්ථාන ප්‍රවෘත්ති අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ තම ගුවන් ප්‍රහාර හරහා කාබුල් සහ නන්ගර්හාර් පළාත්වල පිහිටි ත්‍රස්තවාදී කඳවුරු සහ මිලිටරි ඉලක්ක පමණක් නිශ්චිතවම විනාශ කළ බවයි. ඇෆ්ගනිස්ථානය විසින් ප්‍රකාශ කරන කරුණු සාවද්‍ය බවත්, දේශසීමා හරහා සිදුවන ත්‍රස්තවාදයට ඔවුන් ලබාදෙන සහයෝගය වසන් කිරීම සඳහා මෙලෙස වැරදි තොරතුරු සමාජගත කරන බවත් පාකිස්ථානය වැඩිදුරටත් චෝදනා කරයි.
මෙම ප්‍රහාරයත් සමග පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උග්‍ර වී තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයද මෙම සිදුවීමට දැඩි ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙය සාධාරණීකරණය කළ නොහැකි මිලේච්ඡ සහ නිවට ක්‍රියාවක් බවයි. පාකිස්ථානය විසින් සිදුකළ මෙම සමූලඝාතනය හමුදා මෙහෙයුමක් ලෙස හුවා දැක්වීමට ඔවුන් උත්සාහ කරන බවටද ඉන්දියාව චෝදනා කර ඇත.

