ජ්‍යෙතීර්වේදීන්ගේ පොදු එකඟතාව හිමි වූ 2026 අලුත් අවුරුදු නැකත් සීට්ටුව අද උදෑසන (17)මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය වෙත පිළිගන්වනු ලැබිණ.
ඔවුන් වෙත එකී නැකැත් සීට්ටුව පිළිගැන්වීමේ අවස්ථාවට බුද්ධ ශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි හා පුද්ගලික ලේකම් අනිල් අබේගුණවර්ධන යන අය සහභාගි වූහ. සම්මත නැකැත් පහත පරිදිය.
නව සඳ බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 20 වන සිකුරාදා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රියෙල් මස 19 වන ඉරිදා දින ද, නව සඳ බැලීම මැනවි.
තෙල්වලං ලිප තැබීම
අප්‍රේල් මස 05 වන ඉරිදා දින පූර්වභාග 11.08 ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැයෙන් යුත් වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා තෙල් වලං ලිප තබා අවුරුදු කැවිලි වර්ග පිස ගැනීම මැනවි
පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මස 13 වන සඳුදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 03.08 සිට එම දා අපරභාග 03.56 දක්වා පුණ්‍ය කාලය බැවින් ඊට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්, ආධ්‍යාත්මික කටයුතු, දානමය පුණ්‍ය ක්‍රියා සහ පුණ්‍ය කාල චාරිත්‍රයන්හි නිරත වීමත් ආහාර පිසීම, අනුභවය, වැඩ ඇල්ලීම හා ගණුදෙනු කිරීම ආදී නැකැත් චාරිත්‍ර විධි පහත පරිදි ඉටුකිරීමත් මැනවි.
ආහාර පිසීම (ලිප ගිනි දැල්වීම)
අප්‍රේල් මස 14 වන අහරුවාදා පූර්වභාග 10.51 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිසාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරබතක්ද කැවිලි වර්ගයක්ද, දීකිරි සහ විළඳද නිලියෙල කරගැනීම මැනවි
වැඩ ඇල්ලීම, ගණුදෙනු කිර්ම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අපර භාග 12.06 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුබව කිරීම මැනවි.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 15 වන බදාදා පූර්වභාග 6.55 ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹපත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
හදීසි රාජකාරි සදහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වන සිකුරාදා දින පූර්වභාග 05.38 ට රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් ද හෙළ මෝරු ද උඳු මිශ්‍ර කැවිලි වර්ගයක් ද අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.
රැකීරක්‍ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 20 වන සඳුදා පූර්වභාග 06.27 ට ස් වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් ද එලකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් ද අනුභව කර දකුණු දිශාව බලා හෝ අප්‍රේල් මස 20 වන සඳුදා පූර්වභාග 06.50 ට මුතු හා ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් හා තල මිශ්‍ර කිරිබතක් ද කිරි සහ අග්ගලා සමග කැවිලි වර්ගයක් ද අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.
පැළ සිටුවීම
අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 09. 01 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැළ සිටු වීම මැනවි.

