
ඓතිහාසික මිහින්තලා පුදබිම නැරඹීමට පැමිණි ජර්මන් ජාතික සංචාරක කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුරාවිද්‍යා සේවකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන පරිදි, ඊයේ දිනයේදී ආගමික පෙරහැරක් පැවති අවස්ථාවක කන්ඨක චෛත්‍යය නැරඹීම සඳහා තිස් හැවිරිදි වියේ පසුවන මෙම විදේශීය කාන්තාව පැමිණ ඇත. එහිදී එම ස්ථානයට අනුයුක්තව සේවය කරන අදාළ සැකකාර සේවකයා විසින් ඇයව කන්ඨක චෛත්‍යය ආසන්නයේ සංචාරකයන්ට ඇතුළුවීම තහනම් කර ඇති ආරක්ෂිත කලාපයක් වෙත බලහත්කාරයෙන් රැගෙන ගොස් මෙම අතවරය සිදු කිරීමට උත්සාහ කර තිබේ.
මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන් ප්‍රකාශ කළේ, පුදබිම වන්දනාමාන කිරීමට පැමිණි තරුණ බැතිමතුන් තිදෙනෙකු මෙම සිද්ධිය දැක වහාම ක්‍රියාත්මක වී අදාළ කාන්තාව බේරාගෙන ඇති බවයි.
අනතුරුව අදාළ ජර්මන් ජාතික කාන්තාව විසින් මිහින්තලේ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර පුරාවිද්‍යා සේවකයා අත්අඩංගුවට ගෙන ඇත. එසේම, වින්දිත කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙතද යොමු කර තිබේ.
දිනපතා දේශීය හා විදේශීය සංචාරකයින් මෙන්ම බැතිමතුන් විශාල පිරිසක් පැමිණෙන මිහින්තලා පුදබිමේ ආරක්ෂාව සඳහා මේ වන විට යොදවා ඇත්තේ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු පමණක් බව පෙන්වා දෙන ධම්මරතන නායක හිමියෝ, පවතින මෙම අනාරක්ෂිත තත්ත්වය පිළිබඳව සිය බලවත් කනගාටුව පළ කර සිටිති. ඒ අනුව, පුදබිමට පැමිණෙන සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වහාම ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා ලෙස උන්වහන්සේ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් ද කර ඇත.

