there-is-no-problem-if-the-oil-is-used-carefully---no-minister-chaturanga

වත්මන් ගෝලීය වාතාවරණය හමුවේ නිර්මාණය වී ඇති බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා අරපිරිමැස්මෙන් යුතුව ඉන්ධන සහ විදුලිය පරිභෝජනය කරන ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඊයේ (16) රාජගිරිය දියවන්නා ක්‍රීඩාංගණයේදී පැවැති විශේෂ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව සංවිධානය කෙරුණු ‘දැය නංවන සපිරි ගමක්’ ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියේ කොළඹ දිස්ත්‍රික් සමාරම්භක අවස්ථාව මෙය වූ අතර, ජාතික ඵලදායි ලේකම් කාර්යාලය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මහා නගර සභාව එක්ව මෙය සංවිධානය කර තිබිණි.




ලෝකයේ හටගෙන ඇති යුදමය ගැටුම් හේතුවෙන් ගෝලීය තෙල් සැපයුම දැඩි අභියෝගයකට ලක්ව ඇති බවත්, එය මේ වන විට අප රටටද සෘජුවම බලපා ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය. මෙම අර්බුදය හමුවේ රජයට පමණක් තනිව ක්‍රියා කළ නොහැකි බැවින් ඒ සඳහා පුරවැසියන්ගේ වගකීම් සහගත හැසිරීම අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කළේය. විශේෂයෙන්ම තමන් භාවිතා කරන ඉන්ධන ප්‍රමාණයෙන් සියයට විස්සක් හෝ අවම කරගැනීමට ජනතාව අධිෂ්ඨාන කරගත යුතු බවට ඔහු යෝජනා කළේය. අනවශ්‍ය ගමන්බිමන් සීමා කිරීම, පොදු ප්‍රවාහන සේවා භාවිතයට යොමුවීම සහ විදුලිය සුරක්ෂිතව භාවිත කිරීම වැනි සරල පියවර හරහා මෙම අර්බුදයට සාර්ථකව මුහුණ දිය හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

භෞතික සංවර්ධනයෙන් පමණක් ගමක් සම්පූර්ණ නොවන බව පැවසූ අමාත්‍යවරයා, තරුණ පරපුර යහපත් අතට හැරවීම සඳහා ක්‍රීඩා, විනෝදාස්වාදය සහ සමාජීය ක්‍රියාකාරකම් යළි ගම්මාන තුළට ගෙන ආ යුතු බවද ප්‍රකාශ කළේය. වර්තමානයේ පවතින ආර්ථික අපහසුතා සහ පවුල් තුළ පවතින පීඩනයන් හේතුවෙන් දරුවන්ගේ සුන්දර ළමා කාලය මෙන්ම ගම සමඟ ඇති බැඳීම දුරස් වී ඇති බැවින්, අධ්‍යාපන ක්‍රමයද ප්‍රායෝගික ක්‍රියාකාරකම් මත පදනම් වූ එකක් බවට පරිවර්තනය වීමේ අවශ්‍යතාවය ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. ග්‍රාමීය මට්ටමේ සියලු පවුල් ඒකකයන් එකමුතුව බලශක්ති සංරක්ෂණයට දායක වන්නේ නම් එය සමස්ත රටටම කරන මහඟු මෙහෙවරක් වනු ඇති බවද හෙතෙම කියා සිටියේය.




මධ්‍යම රජය විසින් ක්‍රියාත්මක කරන මෙවැනි සංවර්ධන වැඩසටහන්වල මූලික අරමුණ වී ඇත්තේ ආර්ථික ජයග්‍රහණ බිම් මට්ටමේ සිටින පවුල් ඒකකය දක්වාම ගලා යාමට සැලැස්වීම බව චතුරංග අබේසිංහ මහතා පැවසීය. සෑම පවුලකම තොරතුරු නිසි පරිදි අධ්‍යයනය කරමින් ඔවුන්ගේ දියුණුව වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් රජය සතු වන අතර, ඊට අනුගත වීමට නම් ජනතාවගේ ආකල්පමය වෙනසක් අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය. කිව් ආර් (QR) වැනි පද්ධති හුදෙක් තාක්ෂණික මෙවලම් පමණක් බැවින්, නීතිරීතිවලින් ඔබ්බට ගොස් ස්වයං විනයකින් යුතුව තාවකාලිකව හෝ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට මහජනතාව කටයුතු කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.