the-bones-of-the-husband-and-wife-who-disappeared-during-the-covid-era-are-recovered

කොවිඩ් වසංගතය පැවැති 2020 වසරේදී අතුරුදන් වූ බවට වාර්තා වූ හැටදෙහැවිරිදි අඹුසැමි යුවළකගේ ඝාතනයක් සම්බන්ධයෙන් වසර හයකට පසු තොරතුරු අනාවරණය කර ගැනීමට පොලීසිය සමත් වී තිබේ. ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් වැල්ලම්පිටිය, කම්බිකොටුව වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සුනිල් කුමාරසිංහ සහ කාමන්ද සිල්වා නැමැති මෙම යුවළගේ මළ සිරුරු කොටස් එම ප්‍රදේශයේම පිහිටි ඇළ මාර්ගයක වළදමා තිබියදී මෙලෙස සොයාගනු ලැබීය.




මෙම අඹුසැමියන්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් මුලින්ම ග්‍රෑන්ඩ්පාස් පොලීසියට පැමිණිලි කර තිබුණද ඉන් නිසි තොරතුරක් අනාවරණය වී නොමැත. ඉන් අනතුරුව පවුලේ ඥාතීන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට කරන ලද දැනුම් දීමකට අනුව, මෙම සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරනු ලැබ ඇත. ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.බී. විජේතුංග මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

මෙම පරීක්ෂණවලදී අතුරුදන් වූ යුවළගේ නිවස අසලම පදිංචිව සිටි තවත් අඹුසැමි යුවළකගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම කෲර අපරාධයේ තොරතුරු හෙළි වී ඇත. පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් පහර දී මෙම යුවළ ඝාතනය කර ඇති අතර, ඉන්පසු ඝාතනයට ලක්වූ කාන්තාවගේ ගෙල බැඳි රන් මාලයද කොල්ලකා සිරුරු කැබලිවලට කපා අසල ඇති ඇළ මාර්ගයේ වළදමා ඇති බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් විසින් පාපොච්චාරණය කර තිබේ. කාලයත් සමඟ වළදැමූ සිරුරු කොටස් විවිධ අවස්ථාවලදී ජලය මතුපිටට පැමිණි විට ප්‍රධාන සැකකරු විසින් ඒවා නැවත නැවතත් එම ස්ථානයේම වළදමා සඟවා ඇති බවද විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී ඇත.




මෙම අපරාධය සම්බන්ධයෙන් අදාළ අසල්වැසි අඹුසැමි යුවළ සහ ඊට ආධාර අනුබල දුන් තවත් අයෙකු මේ වන විටත් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් පිරිමි සැකකරුවන් දෙදෙනාම දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් බව පොලීසිය තහවුරු කර තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් අපරාධය සිදුකළ ස්ථානයට රැගෙන ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමෙන් පසු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අදාළ සිරුරු කොටස් ගොඩගැනීම සිදුකර ඇත. මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් මේ වන විටත් වැඩිදුර විමර්ශන මෙහෙයවමින් පවතී.

the-bones-of-the-husband-and-wife-who-disappeared-during-the-covid-era-are-recovered

the-bones-of-the-husband-and-wife-who-disappeared-during-the-covid-era-are-recovered