a-call-from-anura-to-modi

ඊයේ (24) පස්වරුවේ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් පැවැත්වුණු අතර, එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ මැදපෙරදිග කලාපය තුළ උත්සන්න වෙමින් පවතින යුදමය වාතාවරණය සහ ඒ හරහා ගෝලීය සැපයුම් ජාලයන්ට එල්ල වී ඇති දැඩි බලපෑම පිළිබඳවයි. විශේෂයෙන්ම මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක බලශක්ති සැපයුමට එල්ල වී ඇති අවදානම සහ අහිතකර බලපෑම් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින් දෙපළගේම විශේෂ අවධානයක් මෙහිදී යොමු වී තිබේ.




පැනනැගී ඇති මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ දෙරටෙහිම බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින බලශක්ති සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව මෙහිදී දැඩිව අවධාරණය කෙරිණි. මීට අමතරව ඉන්දියන් සාගර කලාපයේ ස්ථාවරත්වය මෙන්ම ආරක්ෂාව පවත්වාගෙන යාම උදෙසා අත්වැල් බැඳගෙන කටයුතු කිරීමටද නායකයින් දෙදෙනා මෙහිදී එකඟතාව පළ කර ඇත. ජාත්‍යන්තර වෙළඳ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන මුහුදු ගමන් මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම සහ ඒවා විවෘතව තැබීම ඇතුළු නැව් ගමනාගමන ක්ෂේත්‍රයේ වැදගත්කම පිළිබඳව ද මෙම දුරකථන සංවාදයේදී අදහස් හුවමාරු කරගෙන තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ මෙම දුරකථන සංවාදය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, බටහිර ආසියානු කලාපයේ වර්ධනය වන අර්බුදය සහ ඉන් ගෝලීය බලශක්ති සුරක්ෂිතතාවට එල්ල වන බාධාවන් පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බවයි. කලාපීය ආරක්ෂාව ඉහළ නැංවීම මෙන්ම ඉන්දු - ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාව වර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති ප්‍රධාන මුලපිරීම්වල වත්මන් ප්‍රගතිය පිළිබඳව ද එහිදී සමාලෝචනය කළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත. තවද, එකිනෙකා කෙරෙහි විශ්වාසය තැබූ සමීපතම හවුල්කරුවන් ලෙස පොදු අභියෝගවලට මුහුණ දීමේදී ඒකාබද්ධව කටයුතු කිරීම සඳහා වන සිය කැපවීම මෙම සාකච්ඡාව හරහා යළිත් වරක් තහවුරු කළ බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය සමාජ මාධ්‍ය සටහන මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

a-call-from-anura-to-modi