මැද පෙරදිග යුද ගැටුම් හේතුවෙන් මෙරට තුළ ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි බියෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විශාල පිරිස් ඊයේ (2) දිනයේදීත් ඉන්ධන ලබා ගැනීමට පිරවුම්හල් අසල ඉතා දිගු පෝලිම්වල රැඳී සිටියහ.කොළඹ ගම්පහ මහනුවර ගාල්ල මාතර වැනි ප්‍රදේශවල මෙන්ම දිවයිනේ තවත් පිට පළාත් රැසකම ඊයේ දවස පුරා පිරවුම්හල් අසල ඉතා දිගු වාහන පෝලිම් තිබෙනු දැකගත හැකි විය. ඉන්ධන පිරවුම්හල් කළමනාකරුවන් පැවසුවේ දෛනික ඉන්ධන බෙදාහැරීමේ ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයකටත් වඩා ඉන්ධන ප්‍රමාණයක් ඊයේ දිනයේ දී නිකුත් කළ බවය.
මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක ඊයේ දවස පුරා ඉන්ධන නොමැති වීමෙන් ගෙන තිබිණි. පිරවුම් හල් බොහොමයක් වසා දමා තිබිණි. ගැලුම් සහ බෝතල්වලට ඉන්ධන නිකුත් නොකිරීමට ද ඉන්ධන පිරවුම්හල් පියවර ගෙන තිබුණි.පිරිස් පාලනය කිරීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසලට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනුද දැක ගත හැකිවිය.
කෙසේ වෙතත් ඉන්ධන සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා ප්‍රකාශ කර තිබේ.
පවතින තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ අද උදෑසන 6.00 සිට 8.00 දක්වා කාලය තුළ ඩීසල් ලීටර් හාර ලක්ෂ 15,740ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටර් 39,600ක් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර් හාරලක්ෂ 81,800ක් නිකුත් කර ඇති බවයි.
රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බැවින් අනියත බියක් ඇති කරගෙන කලබලයට පත් නොවන ලෙස රජය ජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින අතර, අසත්‍ය ප්‍රචාර පතුරුවමින් ජනතාව කලබලයට පත් කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව අවධාරණය කරයි. අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉන්ධන සංචිත රට තුළ පවතින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඊයේ (2) තහවුරු කළහ. කෙසේ වෙතත්, පවතින අනවශ්‍ය කලබලය හේතුවෙන් කුරුණෑගල ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු හදිසියේ රෝගාතුර වී මියයාමේ කනගාටුදායක පුවතක් ද මේ වන විට වාර්තා වී තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඍජුවම බලපෑම් කළ හැකි වුවද, ශ්‍රී ලංකාවට ඉන්ධන රැගත් නෞකා පැමිණෙන්නේ වෙනත් සැපයුම් මාර්ග ඔස්සේ බැවින් ඉන්ධන සැපයුමට ඉන් බාධාවක් එල්ල නොවන බව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැහැදිලි කළේය. මැදපෙරදිග කලාපයේ සේවය කරන ලක්ෂ දහයකට අධික ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රජය මැදිහත් වී කටයුතු කරමින් සිටින අතර, ඒ සඳහා තානාපති කාර්යාල පැය විසිහතර පුරාම සක්‍රීයව පවතී. ගුවන් ගමන් සීමා කර ඇති බැවින් ඔවුන් වහාම මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රායෝගික අපහසුතා පැවතියද, විදේශ දූත මණ්ඩල හරහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට රජය පියවර ගෙන ඇත. එසේම, යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගියද, මෙරට ක්‍රියාත්මක මිල සූත්‍රයට අනුව එහි බලපෑම ශ්‍රී ලංකාවට දැනීමට තවත් මාසයක් හෝ දෙකක් ගතවනු ඇති බව බලධාරීහු පෙන්වා දෙති.
යුද තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ඇමෙරිකාවෙන් සහ නයිජීරියාවෙන් බොරතෙල් ගෙන්වීමට දැනටමත් සැලසුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා ප්‍රකාශ කළේය. එම බොරතෙල් මෙරටදී පිරිපහදු කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් මේ වන විටත් සූදානම් කර තිබේ. කෙසේ වෙතත්, පවතින තත්ත්වය හමුවේ බූලි සහ විවිධ භාජනවලට ඉන්ධන ලබාගැනීමෙන් වළකින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. එලෙස බූලිවලට ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වල බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නා බවත්, නීතිවිරෝධීව ඉන්ධන ගබඩා කර තබා ගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් සභාපතිවරයා අවධාරණය කළේය. මේ වන විටත් එවැනි නීතිවිරෝධී ක්‍රියාවල නිරත වූ පුද්ගලයන් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය කාලයේ මෙන් ඉන්ධන සීමා කිරීම සඳහා කිව්.ආර්. (QR) ක්‍රමවේදයක් නැවත හඳුන්වා දීමේ කිසිදු අවශ්‍යතාවක් පැන නැගී නොමැති බව රජය පැහැදිලි කරයි. දැනට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති කිව්.ආර්. ක්‍රමය හඳුන්වා දීමට අපේක්ෂා කරන්නේ ඉන්ධන ගාස්තු ගෙවීමේ පහසුව සහ භූමිතෙල් සහනාධාරය ලබාදීම සඳහා පමණි. ක
ෘෂිකාර්මික කටයුතුවල නිරත වන ගොවි ජනතාවට අවශ්‍ය ඉන්ධන බූලිවලට ලබාගැනීම වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විධිමත් ක්‍රමවේදයක් ඉදිරියේදී සකස් කෙරේ. දෛනික ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු මේ වන විටත් පුළුල් කර ඇති අතර, ඊයේ දිනය පමණක් සැලකීමේදී ඩීසල් ලීටර් මිලියන තුනකට අධික ප්‍රමාණයක් සහ පෙට්‍රල් ලීටර් මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කර තිබේ. පිරවුම්හල්වල පෝලිම් නිර්මාණය වී ඇත්තේ ඉන්ධන හිඟයක් නිසා නොව, කූඨ ජාවාරම්කරුවන් සහ අනියත බියට පත් වූ ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමට උත්සාහ කිරීම හේතුවෙනි.
මේ අතර, අනවශ්‍ය කලබලය හේතුවෙන් නිර්මාණය වූ ඉන්ධන පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත සිදුවීමක් පෙරේදා (1) සවස කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා විය. කුරුණෑගල, ගෝනගම සමූපකාර ඉන්ධන පිරවුම්හලේ යතුරුපැදියට ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමේ සිටි 43 හැවිරිදි මද්දුම කංකානම්ලාගේ අසිත රුවන් මද්දුමගේ නැමැති වැල්ලව, මුළුගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස හදිසියේ රෝගාතුර වී ඇද වැටී තිබේ. 1990 සුව සැරිය ගිලන් රථයක් මගින් ඔහුව කුරුණෑගල ශික්ෂණ රෝහලට රැගෙන ගියද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇත. ඔහුගේ මෘත ශරීරය මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සහ හදිසි මරණ පරීක්ෂණය එහිදී පැවැත්වීමට නියමිතය. කුරුණෑගල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශය මගින් මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.