ජනපති අනුර කුමාර දිසානායක මැදපෙරදිග වාතාවරණය ගැන පාර්ලිමේන්තුව අමතා අද සිදුකළ විශේෂ ප්‍රකාශය පහතින්
මීට අවුරුදු දෙක තුනකට කලින් අපේ රට මුහුණ දුන් ඒ අමිහිරි අත්දැකීම, අමිහිරි යැයි කියනවාට වඩා ඇත්තටම එය ඛේදවාචකයක්. සාමාන්‍යයෙන් 'ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි' වගේ, කුඩා චලනයකදී පවා අද අපේ සමාජය යම් තැතිගැන්මකට භාජනය වෙනවා. එය අපිට පිළිගත හැකියි. හැබැයි අපිට වාක්‍යවලින් සහ කරුණුවලින් පමණක් සමාජ ස්ථාවරභාවයක් ඇති කරන්න බැහැ. සමාජ ස්ථාවරභාවය ගොඩනැගිය හැකි වන්නේ, ප්‍රායෝගිකව ඔවුන් අර්බුදයකට මුහුණ නොදෙනවා යැයි සහතික කිරීමෙන් පමණයි.
ඒ ඉතිහාසයේ අවුරුදු දෙකේ නිර්මාණය වූ ප්‍රවෘත්ති දෙස ඔබ බලන්න. සෑම ප්‍රවෘත්තියක්ම ඉදිරිපත් කරලා, රජය පැත්තෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඒ කාලේ ආණ්ඩුවේ නාලිකා සහ ජනාධිපතිවරයා පවා කළ ප්‍රකාශවල අසත්‍ය බව පැයක් දෙකක් ඇතුළත හෙළිදරව් වුණා මට මතකයි. ඒ නිසා සමාජය හැමවිටම මෙවැනි කුඩා සිදුවීමකින් පවා තැතිගැන්මකට භාජනය වන, අස්ථාවරත්වය පිළිබඳ මතයක් නිර්මාණය වන තත්ත්වයකට යොමු වී තිබෙනවා.
අපි තවමත් මේ ආර්ථිකය ඉතාමත් ශක්තිමත් ලෙස ස්ථාවර බවට පත් කරමින් තිබෙන ගමනකයි යෙදී සිටින්නේ. අපේ සංචිත ශක්තිමත් කරමින්, අපේ නිෂ්පාදන සහ ආයෝජනයන් කැඳවා ගැනීම සඳහා පසුබිම සකස් කරමින් සිටිනවා. ඒ ගමන අතරතුර තමයි මේ සිදුවීම අපට බලපෑම් ඇති කරන්නේ. අවුරුද්දකටත් ටිකක් වැඩි කාලයක් ඇතුළත අපි මෙවැනි අවස්ථා කිහිපයකට මුහුණ දුන්නා. අපි ආ විගසම මේ කලාපයේ යුද්ධයක් හා ගැටුමක් පිළිබඳ සාකච්ඡාවක් ආවා. ඒ වෙලාවෙත් මේ වගේම තැතිගැන්මක් ඇති වුණා. නමුත් කෙටි කාලයක් ඇතුළත එය සමනය කරගැනීමට අපට හැකි වුණා ඔබට මතක ඇති.
එක්සත් ජනපදයේ තමන්ගේම ආර්ථික උපාය මාර්ගයක් අනුව පනවන ලද බදු හරහා විශාල සාකච්ඡාවක් මේ පාර්ලිමේන්තුවේත්, පාර්ලිමේන්තුවෙන් පිටතත් ඇති වුණා; රට අනතුරකට මුහුණ දේවි කියලා. හැබැයි ඒකත් සැලකිය යුතු ප්‍රමාණයකින් සමනය කරගන්න අපිට හැකි වී තිබෙනවා. ඒ වගේම අපිට මතකයි එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකා අනතුර වැනි විශාල විනාශයක් අපේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 4ක් වැනි බලපෑමක් කරලා තිබෙනවා. සමස්ත විනාශය ගත් විට ඩොලර් බිලියන 4.1ක පමණ අලාභයක් සිදුවී තිබෙනවා. නමුත් මාස තුනක් යනකොට සැලකිය යුතු ප්‍රමාණයකින් අපි එය සමනය කරලා රටේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා. ඒ නිසා හැම විටම අභියෝග හමුවේ, ඒවා සාර්ථකව සමනය කරගත් මෑතකාලීන ඉතිහාසයක් අපට තිබෙනවා. වත්මන් අර්බුදය සහ රජයේ සූදානම
හැබැයි මේ සියල්ල හා සංසන්දනය කරලා බලනකොට, දැනට තියෙන තත්ත්වය අපි කාටත් විග්‍රහ කරගන්න පුළුවන්. නමුත් මේක මොන තත්ත්වයක් දක්වා වර්ධනය වේවිද යන්න පිළිබඳව අපි කාටත් ඇත්තේ අවිනිශ්චිත ස්වභාවයක්. ඒක තේරුම් ගන්න අවශ්‍යතාවය තිබෙන නිසා රජයක් හැටියට අපි නිරන්තරයෙන් ඇතිවෙමින් තිබෙන වර්ධනයන් පිළිබඳව සැලකිල්ලට භාජනය කරමින් සිටිනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව අද මේ තියෙන තත්ත්වය පිළිබඳව සමාලෝචනය කරලා, අපේ ආර්ථිකයට ඇති විය හැකි බලපෑම පිළිබඳ වාර්තාවක් හෙට දිනයේ අපිට ලබා දෙනවා. අද හවස හෝ හෙට උදේ වනවිට මට ඒ වාර්තාව ලබාගන්න පුළුවන්. රටේ මූල්‍ය ක්ෂේත්‍රයට ඇතිවන බලපෑම පිළිබඳව අපට යම් විවරණයක් ඒ හරහා ලබා ගන්න පුළුවන්. ඒ වගේම මුදල් අමාත්‍යාංශය ලෙස අපි, ජන ජීවිතය පවත්වාගෙන යාමේදී ඇතිවන ආර්ථික සහ වෙනත් බලපෑම් මොනවාද සහ විය හැකි විනාශකාරී තත්ත්වයන් උපකල්පනය කර ඒ සඳහා අවශ්‍ය වාර්තාවක් සකස් කරමින් සිටිනවා.
අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව, අපේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මේ තත්ත්වයේදී මුහුණදිය හැකි අර්බුද පිළිබඳව සැලකිලිමත් වෙමින්, ඊට අවශ්‍ය න්‍යාය පත්‍රයක් සකස් කිරීම සඳහා දැන් කටයුතු කරමින් සිටිනවා.
ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් සහ පහසුකම් සැපයීමේ වගකීම ආණ්ඩුව සතුයි. අර්බුද එනවා. ඒ අර්බුදයෙන් මිදීම සඳහා තනි තනි පුරවැසියන්ට කළ හැකි කාර්යභාරය ඉතා සීමිතයි. තනි කෙනෙකුට පෝලිමේ ගිහිල්ලා තෙල් ටිකක් අරගෙන එන්න පුළුවන් වෙයි. හැබැයි සමස්ත අර්බුදයට විසඳුම් සෙවීමේදී ප්‍රධාන වගකීමක් ආණ්ඩුවට තිබෙනවා. ඒ අතර පාර්ලිමේන්තුවේ අපි හැමදෙනාටම අත් හරින්න බැරි වගකීමක් තිබෙනවා. ඒ වගේම අපේ රටේ පුරවැසියන්ටත් යම් සැලකිය යුතු වගකීමක් තිබෙනවා. ආණ්ඩුව, පාර්ලිමේන්තුව සහ ජනතාව එකම අරමුණක් සහ වැඩපිළිවෙළක් අනුව මීට මුහුණ දිය යුතුයි. ඉන්ධන ගබඩා සහ සැපයුම් කළමනාකරණය
මතුවී ඇති තත්ත්වය පිළිබඳව මා එකින් එක ඔබට පැහැදිලි කරන්නම්. ඉන්ධන පිළිබඳ ප්‍රශ්නය දැන් ප්‍රධාන වශයෙන්ම දැකගන්න ලැබෙනවා. පෝලිම් අද වාර්තා වන ආකාරයට යම් ප්‍රමාණයකට අඩු වෙමින් තිබෙනවා. අපි තව තවත් විශ්වාසය තහවුරු කළ විට ඒ තත්ත්වය මඟහැරී යාවි යැයි මා හිතනවා.
ප්‍රධාන ප්‍රශ්නය තමයි අපේ ගබඩාවල තිබෙන ධාරිතාව. අපිට මාස 2-3කට සෑහෙන තෙල් ගබඩා කිරීම සඳහා ප්‍රමාණවත් ධාරිතාවක් අපේ ගබඩාවල නැහැ. අපේ ගබඩාවල හැමවිටම කරන්නේ කුමක්ද? ඊළඟ නැව එනකොට, ඒ නැවේ තියෙන තෙල් ගබඩා කරගැනීම සඳහා අවශ්‍ය විදිහට ගබඩා හිස් කරමින් තබාගන්න ඕනෑ. ගබඩා සම්පූර්ණයෙන්ම පුරවාගෙන ඉන්න බැහැ. ආසන්න වශයෙන් ගත්තොත්, ත්‍රිකුණාමලයේ තියෙන IOC ගබඩා ටික අත්හැරියොත් අපිට කොලොන්නාව සහ මුතුරාජවෙල මුළු ගබඩා සංකීර්ණයේ ධාරිතාව තියෙන්නේ මෙට්‍රික් ටොන් 150,000ක් පමණයි. මේ 150,000ම පුරවාගෙන ඉන්න බැහැ. ඊළඟ නැව් එනකොට ඒ ධාරිතාව හිස්කර තියාගන්න ඕනෑ. කවුරුහරි කිව්වොත් මේ 150,000ම තියාගන්න කියලා, එතකොට නැවක් ආවොත් මොකද කරන්නේ? ඒ නිසා නැව් එන පිළිවෙළට ගබඩා හිස් කිරීමේ සැලැස්මක් එක්ක තමයි අපි ඉන්නේ. ඒ අනුව මෙට්‍රික් ටොන් 150,000න් 103,000ක් ගබඩා පිරිලා තිබුණා.
අපේ දෛනික පිරිපහදුවෙන් මෙට්‍රික් ටොන් 1,800ක් අපට සපයනවා. මේ මෙට්‍රික් ටොන් 1,800 පිරිපහදු කර තබාගැනීමටත් ගබඩා පහසුකම් අපි සකස් කරගන්න ඕනෑ. ඒ නිසා දැනට තිබෙන ගබඩාවලට අනුරූප වන පරිදි ඉතාමත් හොඳ සැලැස්මක අපි සිටියා. දෛනිකව වෙළඳපොළට තෙල් නිකුත් වෙනවා, දෛනිකව පිරිපහදුවෙන් තෙල් එකතු වෙනවා, නැව් එන දින බලා ඒ සඳහා ඉඩ වෙන් කරනවා. මේ ඔක්කොම සංසන්දනය කරමින් තමයි අපි ගබඩා පද්ධතිය පරිපාලනය කරමින් තිබුණේ.
ඒ අනුව අපිට දින 33කට අවශ්‍ය වන ඩීසල් ප්‍රමාණයක් ගබඩා කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. අපේ පෙට්‍රල් ගත්තොත්, මුළු ගබඩා ධාරිතාව මෙට්‍රික් ටොන් 161,087යි. මේ අර්බුදය මතු වෙනකොට මෙට්‍රික් ටොන් 136,270ක ගබඩා ධාරිතාවක් පිරී තිබුණා. කවුරුහරි කිව්වොත් මේක මුළුමනින්ම පුරවා තියාගන්න කියලා, එහෙම කරන්න බැහැ. අපි මෙහෙයුම් කරන්නේ (Operations) මේ ගබඩාවලින්ම තමයි. අපිට ආරක්ෂිත තොගයක් (Buffer Stock) ගබඩා කිරීම සඳහා වෙනම සංචිත තිබුණා නම් ඒක වෙනම දෙයක්. අපිට කවදාවත් ආරක්ෂිත තොග පවත්වාගෙන යාමට වෙනම ගබඩා සංකීර්ණ නැහැ. ලෝකයේ වෙනත් රටවල හදිසි අවශ්‍යතාවකදී පාවිච්චි කරන සංචිත වෙනම ගබඩාවල තියෙනවා. දෛනික මෙහෙයුම්වලට අවශ්‍ය සංචිත වෙනම තියෙනවා. නමුත් අපේ මේ දෙකම තියෙන්නේ එකම තැනකයි.
අපිට පෙට්‍රල් දින 27කට අවශ්‍ය ප්‍රමාණයක් දැනට තිබෙනවා. ඒ වගේම මේ මස 7 හෝ 8 වන දිනවල තවත් මෙට්‍රික් ටොන් 35,000ක පෙට්‍රල් නැවක් ඒමට නියමිතව තිබෙනවා. ඒ සියල්ල ගත් විට දින 40කට ආසන්න ප්‍රමාණයක පෙට්‍රල් සංචිත අපි ගාව තිබෙනවා. අපිට ඕන විදිහට එකපාරට නැව් ගේන්න බැහැ. ගබඩා හිස්වන ප්‍රමාණය, දෛනිකව නිකුත් වන ප්‍රමාණය සහ නැව් ළඟා වන දින ගණනය කරමින් ඉතාමත් විද්‍යාත්මක ගබඩා පද්ධති කළමනාකරණයක අපි නිරත වී සිටිනවා.
විශේෂයෙන් ගුවන් යානාවලට සපයන ජෙට් ඒ-වන් (Jet A-1) ඉන්ධන ගැන කතා කළොත්, දෛනික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 1,800ක් පමණ වෙනවා. අපේ පිරිපහදුවෙන් දෛනිකව මෙට්‍රික් ටොන් 1,080ක් පමණ හදනවා. ඉතිරි ටික අපි ආනයනය කරනවා. මේ සියල්ල ගත් විට දින 41කට සෑහෙන ගුවන් යානා ඉන්ධන අප සතුව තිබෙනවා.
දැන් තියෙන තත්ත්වය අනුව කාලය ගතවන විට හිස්වන ගබඩා පිරවීම සඳහා නැව් ගෙන්වා ගැනීමේ කාලසටහනකුත් තිබෙනවා. අපි නැව් පෙළගස්වලා තිබෙනවා. විශේෂයෙන් RM Parks සමාගමෙන් 14 වෙනිදා නැවක් එනවා, සිනොපෙක් (Sinopec) සමාගමෙන් 17 වෙනිදා නැවක් එනවා, IOC එකෙන් 21 වෙනිදා නැවක් එනවා. 28 වෙනිදා තෙල් සංස්ථාවෙන් නැවක් එනවා. ඒ සමාගම් නැව් ලබාදීමට එකඟතාව පළ කර තිබෙන නිසා අපට කිසිදු ගැටලුවක් නැහැ.
තෙල් පිරිපහදුව බැලුවොත්, අපිට බොරතෙල් අවශ්‍යයි. දැනට තියෙන බොරතෙල් ප්‍රමාණය දින 26කට ප්‍රමාණවත්. නමුත් අපි තවත් නැවක් ගේනවා. ඒ නැව දින 10කට ඇති. බොරතෙල් නැව් ඉතා ඉක්මනින් මුහුදේ එමින් තිබෙනවා. ඒ අනුව ඉදිරි දින 44කට කිසිදු නැවක් ආවෙත් නැතත් අපේ පිරිපහදුව දුවන්න පුළුවන්. ඒ නිසා මේ තිබෙන තත්ත්වය අනුව ඉන්ධන අර්බුදයක් මතු වෙන්නේ නැහැ. නමුත් ගෝලීය වශයෙන් යුද්ධය වර්ධනය වුණොත්, ඊට අපි කවුරුත් මුහුණ දෙන්න ඕනෑ. තෙල් පිරිපහදු ඔක්කොමටම පහර දුන්නා යැයි කිව්වොත් අපි කොහෙන්ද තෙල් ගේන්නේ? අපි ළිං වලින් තෙල් ගන්නේ නැහැනේ. ඒ නිසා යථාර්ථවාදීව මේ ප්‍රශ්නය මේ විදිහට තියෙන තාක්කල් මීට උත්තර තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නය මීට වඩා වර්ධනය වෙනවාද නැද්ද කියා තීරණය කරන්නේ අපි නෙවෙයි. ඒ වර්ධනයට අනුව අවශ්‍ය සැලසුම් සෑදීම තමයි ආණ්ඩුවක් විදිහට අපේ වගකීම. ඉන්ධන ගබඩා සහ යටිතල පහසුකම් සංවර්ධනය
මේ ධාරිතාව පිළිබඳ ප්‍රශ්නය දිගු කාලයක් තිස්සේ තිබුණු එකක්. ඒ වෙනුවෙන් අපි කොලොන්නාවේ අලුතෙන් මෙට්‍රික් ටොන් 86,000ක ගබඩා සංකීර්ණයක් ඉදි කරමින් සිටිනවා. අලුතෙන් ටැංකියක් හදනවා, ඒ වගේම ගිනිගත් පැරණි ටැංකි කපලා ඉවත් කරලා අලුතෙන් ටැංකි හදනවා. මේ 86,000ක ධාරිතාව 2027 වන විට අවසන් කරන්න සැලසුම් කර තිබෙනවා. ටැංකි හයක් සඳහා රුපියල් බිලියන 3.32ක් සහ අනිත් දෙක සඳහා රුපියල් බිලියන 1.45ක් වශයෙන්, කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ පහසුකම් වැඩි කිරීමට පමණක් රුපියල් බිලියන 5කට ආසන්න මුදලක් අප වැය කරනවා. මේ හරහා දින 10කට අවශ්‍ය අලුත් ගබඩා ධාරිතාවක් එකතු වෙනවා.
මුතුරාජවෙල අලුතෙන් මෙට්‍රික් ටොන් 40,000ක ගබඩා ධාරිතාවක් වැඩි කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. එහි ටෙන්ඩර් කටයුතු අවසන් අදියරේ පවතින අතර ඒ සඳහා රුපියල් බිලියන 3.5ක් පමණ වැය වේවි.
ඒ වගේම මුතුරාජවෙල ඉඳන් කටුනායකට පයිප්ප මාර්ගයක් (Pipeline) හදන්න අපි සැලසුම් කර තිබෙනවා. අපේ ගුවන් තොටුපොළ භාණ්ඩ ප්‍රවාහන සහ ගුවන් සේවා කේන්ද්‍රස්ථානයක් (Aviation Hub) බවට පත්කිරීමේ විශාල සැලැස්මක් අපට තිබෙනවා. ගුවන් ගමන් වැඩි වනවිට Jet A-1 ඉන්ධන ඉල්ලුමද වර්ධනය වෙනවා. දැනට තියෙන ඉල්ලුම මෙට්‍රික් ටොන් 1,800ක් වුණත් ඉදිරියේදී එය මීට වඩා වැඩි වෙනවා. ගුවන් තොටුපොළ සංවර්ධනය කරන විට ඊට සමාන්තරව ඉන්ධන සැපයුම් සැලැස්මකුත් ක්‍රියාත්මක විය යුතුයි. ඒ වෙනුවෙන් ජෙට් ඒ-වන් ධාරිතාව මෙට්‍රික් ටොන් 63,000කින් වැඩි කිරීමට ගබඩා පහසුකම් හදනවා. ඒ සඳහා රුපියල් බිලියන 16ක් පමණ වැය වන අතර එහි ටෙන්ඩර් කටයුතු දැන් අවසන් අදියරේ පවතිනවා. මෙමගින් දින 40කට වඩා වැඩි කාලයකට සෑහෙන ජෙට් ඒ-වන් ඉන්ධන ගබඩා කළ හැකි වෙනවා. පෞද්ගලික අංශයේ සමාගම්වලටද මෙහි ආයෝජනය කිරීමට අපි ආරාධනා කර තිබෙනවා.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳවද ප්‍රධාන සාකච්ඡාවක් යනවා. එහි මුළු ගබඩා 24ක් තිබෙනවා. එයින් ගබඩා 3ක් වෙනම ගිවිසුමක් යටතේ ලබාදී තිබෙනවා. තව ගබඩා 21ක් අපිට තියෙනවා. එක ගබඩාවක ධාරිතාව මෙට්‍රික් ටොන් 10,000ක්. අපිට එකපාර මේ සියල්ලටම වියදම් කරන්න බැහැ. පළමු අදියර යටතේ අපි ටැංකි 4ක් තෝරාගෙන ප්‍රතිසංස්කරණය කරනවා. ඉන් දෙකක වැඩ දැනටමත් අවසන්. හැබැයි ගබඩා ප්‍රතිසංස්කරණය කළාට වැඩක් නැහැ නළ පද්ධතියක් නැතිව. පැරණි නළ පද්ධතිය අක්‍රිය වී ඇති නිසා, මුහුදේ ඉඳන් අලුත් නළ පද්ධතියක් එළීමට අපි ටෙන්ඩර් කැඳවා තිබෙනවා. ඒ සඳහා රුපියල් බිලියන 7.37ක් වැය වෙනවා. එමගින් අලුතෙන් මෙට්‍රික් ටොන් 40,000ක ධාරිතාවක් අපට එකතු වෙනවා.
අපේ ඉන්ධන පිරවුම් පහසුකම් (Loading Gantries) ප්‍රමාණවත් නැහැ. මේවා ස්වයංක්‍රීය (Automate) කළ යුතුයි. ඒ සඳහා රුපියල් බිලියන 1.5ක් වැය කිරීමට ටෙන්ඩර් කැඳවා තිබෙනවා. දැනට තිබෙන පහසුකම් යටතේ නැවක් හිස් කිරීමට දින 5ක් පමණ ගත වෙනවා. මෙය ස්වයංක්‍රීය කළ විට එම කාලය දින දෙකක් දක්වා අඩු කරගන්න පුළුවන්. නැව් ප්‍රමාද වනවිට අපි ප්‍රමාද ගාස්තු (Demurrage) ගෙවන්න ඕනෑ. මෙය වළක්වා ගැනීමට මුළු පද්ධතියම ස්වයංක්‍රීය කරනවා.
1969 දී අපේ තෙල් පිරිපහදුව ආරම්භ කරන විට එහි ධාරිතාව මෙට්‍රික් ටොන් 38,000යි. පසුව 1979 දී එය මෙට්‍රික් ටොන් 50,000 දක්වා වැඩි කළා. එතැන් සිට අද දක්වා වසර 47ක් ගතවී ඇතත් පිරිපහදුවේ ධාරිතාව එක මෙට්‍රික් ටොන් එකකින්වත් වැඩි කර නැහැ. අපි දැන් සැලසුම් කර තිබෙනවා එහි ධාරිතාව මෙට්‍රික් ටොන් 100,000 දක්වා වැඩි කරන්න. ඒ සඳහා මේ වනවිට සමාගම් 15කින් අභිලාෂයන් (EOIs) ඉදිරිපත් වී තිබෙනවා. රාජ්‍ය බැංකුවක් තබාගෙන පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් මෙය සිදුකිරීමට සැලසුම් කරමින් පවතිනවා.
කොලොන්නාවේ සිට වරාය දක්වා දිවෙන නළ පද්ධතියට වසර 90ක් පමණ වෙනවා. තෙල් කාන්දු වීම්, ගිනි ගැනීම් සහ මංකොල්ලකෑම් නිරන්තරයෙන් සිදුවෙනවා. වසර 20ක් තිස්සේ මෙය හදන්න උත්සාහ කළත් බැරි වුණා. දැන් අපි අඟල් 14 සහ 12 නළ දෙකක් එළීමට සියලු වාර්තා සකස් කර ටෙන්ඩර් කැඳවීමට සූදානම්. ඒ සඳහා රුපියල් බිලියන 12.8ක් වැය වෙනවා. ඒ වගේම කොලොන්නාවේ සිට කැලණිතිස්ස දක්වා යන නැප්තා (Naphtha) නළ පද්ධතියත් වසර 90ක් පරණයි. එය දැඩි අනාරක්ෂිත තත්ත්වයක පවතිනවා. එය අලුත් කිරීමේ ටෙන්ඩර් කටයුතු අවසන් අදියරේ පවතින අතර ඒ සඳහා බිලියන 1.5ක් වැය වෙනවා.
ආසන්න වශයෙන් රුපියල් බිලියන 30කට අධික මුදලක් යොදවා මේ යටිතල පහසුකම් වර්ධනය කිරීමේ වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කර තිබෙනවා. මේවා හරහා බලශක්ති ආරක්ෂාව තහවුරු කර, මෙවැනි අර්බුද පිළිබඳ සැකයක් ජනතාව තුළ යළි ඇති නොවන ආකාරයේ දිගුකාලීන විසඳුම් කරා අපි ගමන් කරමින් සිටිනවා. ගෑස් සැපයුම සහ අර්බුද කළමනාකරණය
ඊළඟට අපි මුහුණ දෙන විශේෂම ප්‍රශ්නය තමයි ගෑස් ප්‍රශ්නය. මෙහි ප්‍රධාන ප්‍රශ්නය අපේ මුළු ගබඩා ධාරිතාව මෙට්‍රික් ටොන් 8,000ක් වීමයි. ලිට්‍රෝ ගෑස් (Litro) සමාගමේ දෛනික ගෑස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 1,000ත් 1,200ත් අතර වෙනවා. අපේ ධාරිතාවෙන් අපට ගෑස් ගබඩා කර තබාගත හැක්කේ සතියකට පමණයි. ඒ නිසා නැවකින් මෙට්‍රික් ටොන් 8,000ක් ගෙනැවිත් දවස් දෙකක් යනකොට ගබඩාව හිස් වෙනවා. පහුගිය කාලේ පෞද්ගලික ගෑස් සමාගමේ (ලාෆ්ස් ගෑස්) සැපයුම අඩාල වූ නිසා මුළු ඉල්ලුම දිනකට මෙට්‍රික් ටොන් 1,800 දක්වා වර්ධනය වුණා. එහෙම වුණාම අපේ ධාරිතාව දින 5කටවත් ප්‍රමාණවත් නැහැ. මේ නිසා මාලදිවයිනේ නැවක් නතර කරගෙන, එයින් කුඩා නැව් හරහා දවස් දෙකෙන් දෙකට තොග ගෙන එන තත්ත්වයක් තමයි තිබුණේ. මෙය වෙනස් කළ යුතුයි.
හදිසි අවශ්‍යතාවයක් සඳහා හම්බන්තොට පිහිටි පෞද්ගලික සමාගමකට අයත් (LAUGFS Terminals / BOI company) මෙට්‍රික් ටොන් 30,000ක ගබඩා පර්යන්තය භාවිතා කිරීමට අපි සාකච්ඡා කළා. ඔවුන් එම ගබඩාව හැදුවේ අපනයන වෙළඳපොළ ඉලක්ක කරගෙනයි. අපි කළ ඉල්ලීම පරිදි ඔවුන්ගේ ධාරිතාවෙන් මෙට්‍රික් ටොන් 15,000ක පහසුකම් තාවකාලිකව අපට ලබාදීමට ඔවුන් එකඟ වුණා. ඒ සඳහා අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. හැබැයි BOI නීති යටතේ ඔවුන්ට දේශීය වෙළඳපොළට නිකුත් කළ හැක්කේ අපනයනය කරන ප්‍රමාණයෙන් 20%ක් පමණයි. පහුගිය කාලේ ගෝලීය ගැටුම් (උදාහරණයක් ලෙස බංග්ලාදේශ අර්බුද) නිසා ඔවුන්ගේ අපනයන වෙළඳපොළ මුළුමනින්ම බිඳ වැටුණා. අපනයන නැති වුණාම නීතිමය බාධාවන් නිසා දේශීය වෙළඳපොළට තොග නිකුත් කිරීමට ඔවුන්ට නොහැකි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස කහ පාට (ලාෆ්ස්) ගෑස් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයකට පත් වුණා.
මේ නිසා මුදල් අමාත්‍යාංශය ලෙස අපි, හදිසි සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා හරහා විශේෂ රෙගුලාසියක් ගෙනැවිත්, අදාළ බදු මුදල් අයකරගෙන, අපනයන කොන්දේසිවලින් තොරව ඔවුන්ගේ ගෑස් දේශීය වෙළඳපොළට නිකුත් කිරීමට තාවකාලික බලයක් ලබා දුන්නා. මේ හරහා කහ පාට සිලින්ඩර් පාරිභෝගිකයින්ගේ ප්‍රශ්නය විසඳීමට හැකි වෙනවා. මීට අමතරව ලිට්‍රෝ ගෑස් සමාගම හරහා අලුත් ගෑස් සිලින්ඩර් ලක්ෂයක් අපි ඇනවුම් කර තිබෙනවා. මේ මාසේ 12 වෙනිදා පමණ එම තොගය වෙළඳපොළට එනවා. ඇතැම් අය කහ පාට වෙනුවට නිල් පාට සිලින්ඩර් මාරු කිරීමට කල්පනා කරන නිසා අපි මේ පියවර ගත්තා. පෞද්ගලික සමාගම් තරඟකාරීත්වය අඩු කරනවා යැයි ඇතැම්හු කීවත්, අද ලිට්‍රෝ රාජ්‍ය සමාගමේ ගෘහස්ථ ගෑස් මිල පෞද්ගලික සමාගමට වඩා රුපියල් 500කින් අඩුයි. මේ සියලු පියවර ගනිමින් ගෑස් අර්බුදයක් ඇතිවීමේ අවදානම අපි බොහොම අවම කර තිබෙනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්, සංචාරක කර්මාන්තය සහ වරාය
අපේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ලක්ෂ දහයක් පමණ මැදපෙරදිග ඇතුළු ගැටුම් පවතින කලාපවල සේවය කරනවා. කාර්යාංශයේ ලියාපදිංචි නොවූ පිරිසකුත් ඒ අතර ඉන්නවා. ඔවුන්ට කිසියම් අනතුරක් සිදුවුවහොත් ඔවුන් බලාගන්නේ කෙසේද යන්න පිළිබඳව අපි අවධානය යොමු කර තිබෙනවා. දැනටමත් සෑම තානාපති කාර්යාලයක් හරහාම පැය 24 පුරා ක්‍රියාත්මක වන ක්ෂණික දුරකථන සේවාවක් (Hotline) ආරම්භ කර තිබෙනවා. ඕනෑම කෙනෙකුට තමන්ගේ ගැටලු දැනුම් දෙන්න පුළුවන්. විදේශ කටයුතු අමාත්‍යාංශය හරහාත්, ලංකාවේ සිටින දෙමව්පියන්ට හෝ ඥාතීන්ට තම විදෙස්ගත සහෝදරයින්ගේ ආරක්ෂාව පිළිබඳ සැකයක් ඇත්නම් එය දැනුම් දීමට පහසුකම් සපයා තිබෙනවා. වර්ධනය වන තත්ත්වයන් හමුවේ අපගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා භාවිතා කරමින් වෙනත් රටවල සහායද ලබාගැනීමට අපි කටයුතු කරමින් සිටිනවා.
සංචාරක කර්මාන්තය ගත් විට, මේ මාර්තු මාසයේදී ලක්ෂ තුනකට ආසන්න සංචාරකයින් පැමිණීමක් අපි අපේක්ෂා කළා. නමුත් වත්මන් ගෝලීය තත්ත්වයන් හමුවේ එය යම් ප්‍රමාණයකට අඩාල වෙමින් පවතිනවා. දැනට ලංකාවට පැමිණ සිටින සංචාරකයින්ගෙන් ඇතැමෙකුගේ වීසා කාලය අවසන් වී ඇති බැවින්, ඔවුන් සියලු දෙනාටම නොමිලේ සති දෙකක වීසා කාලයක් ලබාදීමට ආණ්ඩුව තීරණය කළා. ජනාධිපති ලේකම්තුමා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා, සංචාරක අමාත්‍යතුමා සහ හෝටල් කර්මාන්තයේ නියෝජිතයින් සමග එක්ව සංචාරකයින් ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය සැලසුම් අප සකස් කර තිබෙනවා.
දැනට මැදපෙරදිග කලාපයට ගමන් කරන නැව් ප්‍රමාද වන නිසා, එම ගමනාන්ත දක්වා ආපු ඇතැම් නැව්වල කන්ටේනර් කොළඹ වරායේ තැන්පත් කිරීම සඳහා නැව් සමාගම් අපෙන් ඉල්ලීම් කර තිබෙනවා. අපි අපේ වරායේ ධාරිතාව පිළිබඳව මෙන්ම, එම කන්ටේනර් මෙහි අතහැර නොදමා නැවත රැගෙන යන බවට සහතිකයක්ද ලබාගත යුතුයි. වරාය කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා කර, අපනයනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින භාණ්ඩ තවදුරටත් කොළඹ වරායට ගෙනඒම තාවකාලිකව පාලනය කරමින් වරායේ කාර්යක්ෂමතාව පවත්වා ගැනීමට පියවර ගෙන තිබෙනවා. එසේම, ගුවන් ගමන් අඩාල වූ ගුවන් යානා කිහිපයකට අපේ ගුවන් තොටුපොළවල නවතා තැබීමටද අප අවසර ලබාදී තිබෙනවා. දිගුකාලීන ආර්ථික බලපෑම් සහ නිගමනය
දිගුකාලීනව අපට මුහුණ දීමට සිදුවිය හැකි ආර්ථික බලපෑම් පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. පසුගිය වසරේ ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් ලෙස ඩොලර් බිලියන 8.2ක විදෙස් සම්ප්‍රේෂණ (Remittances) අපට ලැබුණා. යුධ තත්ත්වයන් වර්ධනය වුවහොත් ඊට බලපෑමක් එල්ල වීමේ අවදානමක් පවතිනවා. අපේ සංචාරක කර්මාන්තයේ ප්‍රධාන සංක්‍රමණ මධ්‍යස්ථාන (Transit Hubs) ලෙස ඩුබායි, අබුඩාබි, සහ කටාර් වැනි කලාප ක්‍රියා කරනවා. යුද්ධයක් ඇති වුවහොත් ගෝලීයව ජනතාවට ආර්ථික පීඩනයක් ඇති වන අතර, එවිට ඔවුන් මුලින්ම කපා හරින්නේ සංචාරය සඳහා වන වියදම් ය. එය අපේ සංචාරක කර්මාන්තයට දැඩි ලෙස බලපානු ඇත. එසේම අපේ අපනයන වෙළඳපොළට සෘජුවම (යුද්ධය පවතින කලාපවලින්) සහ වක්‍රව (ගෝලීය ආර්ථික අර්බුදය හරහා) ඇතිවිය හැකි බලපෑම් පිළිබඳවත් අපි අධ්‍යයනය කරමින් සිටිනවා. අපේ ඩොලර් සංචිත සහ විනිමය අනුපාතික ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න පිළිබඳව අප අවධානයෙන් පසුවෙනවා.
රජයේ සියලු ආයතන—තෙල් සංස්ථාව, ගෑස් සමාගම්, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව—ඉතාමත් සක්‍රීයව මෙම තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා එකට වැඩ කරමින් සිටිනවා. දේශපාලන අධිකාරිය ලෙස ඊට අවශ්‍ය නායකත්වය සහ සහාය ලබාදීම අපේ කාර්යභාරයයි. අපේ ප්‍රාර්ථනය මේ සියල්ල ඉතා කෙටි කලකින් සමනය වේවි යන්නයි. අපි සුබවාදී දේ අපේක්ෂා කරනවා; එහෙත් නරකම දේට සූදානම් වෙනවා (Hope for the best, prepare for the worst). මේ අනුව තමයි අපි කටයුතු කරමින් ඉන්නේ.
බොහොම ස්තුතියි, ගරු කථානායකතුමනි.