important-announcement-about-srilankan-airlines-middle-east-flights

මැදපෙරදිග කලාපයේ මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොළඹ සිට මැදපෙරදිග ගමනාන්ත දක්වා ක්‍රියාත්මක වන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබේ. මෙම ගුවන් ගමන් අත්හිටුවීම 2026 මාර්තු මස 03 වැනිදා රාත්‍රී 11:59 (පැය 23:59) දක්වා බලාත්මක වන බව සමාගම සිය පාරිභෝගිකයින් වෙත නිවේදනය කරයි.




මෙම තීරණයත් සමඟ ගුවන් ගමන් වාර ගණනාවකට ඍජුවම බාධා එල්ල වී ඇත. ඒ යටතේ කොළඹ සහ ඩුබායි අතර ගමන් ගන්නා UL225, UL226, UL231 සහ UL232 යන ගුවන් ගමන් ද, කොළඹ සහ දෝහා අතර ක්‍රියාත්මක වන UL217 සහ UL218 යන ගුවන් ගමන් ද අත්හිටුවා තිබේ. ඊට අමතරව කොළඹ සහ දම්මාම් නුවර අතර ගමන් කරන UL253 සහ UL254, කොළඹ සහ රියාද් නුවර අතර ක්‍රියාත්මක වන UL265 සහ UL266 මෙන්ම කොළඹ සහ කුවේට් අතර ගමන් ගන්නා UL229 සහ UL230 යන ගුවන් ගමන් සේවා ද මීට බලපාන බව සඳහන් වේ.

ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් අපහසුතාවයට පත්වන මගීන්ට අවශ්‍ය සහාය සහ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමට පහසුකම් සලසා දී ඇත. ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ සිටින මගීන්ට 1979 ඔස්සේ ද, ජාත්‍යන්තර මගීන්ට +94 11 777 1979 යන දුරකථන අංකය ඔස්සේ ද ඇමතුම් ලබා ගත හැක. මීට අමතරව ගුවන් ගමන් යළි වෙන්කර ගැනීම් ඇතුළු අනෙකුත් අවශ්‍යතාවයන් සඳහා සමාගමේ නිල වෙබ් අඩවිය වන www.srilankan.com වෙත පිවිසෙන ලෙසත්, ළඟම ඇති ශ්‍රීලංකන් ගුවන් සේවා කාර්යාලය හෝ අදාළ සංචාරක නියෝජිතයන් සම්බන්ධ කර ගන්නා ලෙසත් ගුවන් සමාගම මගීන්ට වැඩිදුරටත් දැනුම් දෙයි.

important-announcement-about-srilankan-airlines-middle-east-flights