solutions-to-the-problems-of-farmers-vehicle-importers-and-those-whose-vehicle-ownership-has-changed-due-to-qr

රජය විසින් ඊයේ (15) දිනයේ සිට දිවයින පුරා ඉන්ධන නිකුත් කිරීම සඳහා ජාතික ඉන්ධන අවසර පද්ධතිය හෙවත් කිව්.ආර් (QR) කේත ක්‍රමය නිල වශයෙන් ක්‍රියාත්මක කර තිබේ. කෙසේ වෙතත්, කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ගොවි ජනතාවට එම කෝටාවෙන් පරිබාහිරව ඉන්ධන සපයා දීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර, ඒ සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පූර්ණ එකඟතාව හිමිව ඇති බව එහි කොමසාරිස් ධම්මික රණතුංග මහතා පවසයි.




නව එකඟතාවලට අනුව ඉදිරි කන්නයන් ඉලක්ක කරගනිමින් ගොවීන්ට අවශ්‍ය ඉන්ධන ලබා දීම සිදු කෙරේ. ඒ යටතේ 2025/26 මහ කන්නයේ අස්වනු නෙළීමේ කටයුතුවල නිරත වන ගොවීන්ට එක් අක්කරයක් සඳහා ඉන්ධන ලීටර් 15 බැගින් නිකුත් කිරීමට නියමිතව ඇත. මීට අමතරව යල කන්නයේ වගා කටයුතු වෙනුවෙන් බිම් සකසන ගොවීන් සඳහා අක්කරයකට ඉන්ධන ලීටර් 20 ක ප්‍රමාණයක් ලබා දීමට කටයුතු සම්පාදනය කර ඇති බව ද කොමසාරිස්වරයා විසින් වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

මේ අතර, නව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වීමත් සමග මෙරට වාහන ආනයනකරුවන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය අද (16) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. එහි සභාපති ප්‍රසාද් මානගේ මහතා පෙන්වා දෙන්නේ, මාසිකව හම්බන්තොට වරාය වෙත ආනයනය කෙරෙන වාහන 100ත් 150ත් අතර ප්‍රමාණයක් කොළඹ දක්වා ප්‍රවාහනය කිරීමට සිදුව ඇති පසුබිමක මෙම ඉන්ධන සීමා කිරීම් දැඩිව බලපා ඇති බවයි. මේ හේතුවෙන් අලුතින් ආනයනය කරන වාහන වෙනුවෙන් විශේෂිත කිව්.ආර් ක්‍රමයක් හෝ වෙනම ඉන්ධන කෝටාවක් හඳුන්වා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත්, ඒ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමට තම සංගමය සූදානම් බවත් හෙතෙම සඳහන් කළේය.




නව ක්‍රමවේදය ක්‍රියාත්මක වීමේදී පැනනැගී ඇති තාක්ෂණික දෝෂ මඟහරවා ගැනීම සඳහා ද මේ වන විට කටයුතු කරමින් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, විශේෂයෙන්ම වාහන අංක සහ දුරකථන අංක මාරුවීම හේතුවෙන් පද්ධතියේ ලියාපදිංචි වීමට නොහැකි වූ පුද්ගලයින්ගේ ගැටලු කඩිනමින් නිරාකරණය කරමින් පවතින බවයි.