ඇමරිකානු සබ්මැරීන් ප්‍රහාරයකින් විනාශයට පත් වූ 'අයිරිස් ඩේනා' සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගනු ලැබූ 'අයිරිස් බුෂර්' යන ඉරාන නෞකා ද්විත්වයේ සිට දිවි ගලවාගත් නාවිකයන් 239 දෙනා සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළදී තීරණයක් ගැනීමට නියමිත බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
මෙම සිදුවීමට අදාළව විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ඉරාන රජය සහ මෙරට සිටින ඉරාන තානාපතිවරයා සමග මේ වන විටත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර, එම රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මියගිය සියලුම ඉරාන නාවිකයන්ගේ මෘතදේහ මේ වන විටත් ඉරානය වෙත යවා අවසන් කර තිබේ.
පසුගිය 4 වැනිදා ගාල්ලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු තීරයේදී අමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකට ලක්ව විනාශ වූ අයිරිස් ඩේනා නෞකාවේ ගමන් කරමින් සිටියදී මියගිය නාවිකයන් අසූ හතර දෙනකුගේ දේහයන් පසුගිය 13 වැනිදා විශේෂ ගුවන් යානයක් මගින් ඔවුන්ගේ මව් රට වෙත පිටත් කර හැරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
අනතුරට පත් වූ අයිරිස් ඩේනා නෞකාවේ සිට බේරාගැනීමට හැකි වූ නාවිකයන් තිස් දෙදෙනෙකු සහ අයිරිස් බුෂර් නෞකාවේ සිටි නාවිකයන් දෙසීය හත් දෙනෙකු ඇතුළුව මුළු නාවිකයන් 239 දෙනෙකු මේ වන විට වැලිසර සහ කොග්ගල යන ආරක්ෂක කඳවුරුවල රඳවා සිටින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත්වීමෙන් මුදාගත් අයිරිස් බුෂර් නෞකාව මේ වන විට ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.