මෙරට ඉන්ධන සැපයුම අඩාල වීම වළක්වා ගනිමින් එය අඛණ්ඩව පවත්වාගෙන යාම උදෙසා ඉන්ධන මිල සංශෝධනයක් සිදු කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් වූ බව රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. අද (මාර්තු 22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී කැඳවා තිබූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, දේශීය ඉන්ධන වෙළෙඳපොළෙන් 43%ක ප්‍රතිශතයක් හිමිකරගෙන සිටින (Sinopec - LIOC ) පෞද්ගලික අංශය රුපියල් දෙසීයකට ආසන්න මිල ඉහළ දැමීමක් රජයෙන් ඉල්ලා සිටි බවත්, එසේ නොකළහොත් ඔවුන් ඉන්ධන ආනයනය අත්හිටුවීමේ දැඩි අවදානමක් මතු වී තිබුණු බවත්ය.
ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අමතරව පෞද්ගලික ආයතන මගින් ඉන්ධන ආනයනය කර බෙදා හරින අතර, එය සමස්ත වෙළෙඳපොළ අවශ්‍යතාවයෙන් 43%ක් තරම් ඉහළ අගයක් ගනී. අමාත්‍යවරයා සඳහන් කළ පරිදි, මෙම සමාගම් පසුගිය මාර්තු 06 වන දා රුපියල් 146ක මිල ඉහළ නැංවීමක් අපේක්ෂා කළ අතර, පසුව එම ඉල්ලීම රුපියල් 200කට ආසන්න අගයක් දක්වා වර්ධනය වී තිබිණි. පෞද්ගලික ආයතනයන් පාඩු ලබමින් ව්‍යාපාර කටයුතු සිදු නොකරන බැවින්, ඔවුන්ගේ ඉල්ලීම් යම් පමණකට හෝ ඉටු නොකළේ නම් ඉදිරියේදී මෙරටට ළඟා වීමට නියමිත ඉන්ධන නැව් සඳහා මුදල් යෙදවීමට ඔවුන්ට නොහැකි වී ආනයන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීමට ඉඩ තිබූ බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. මෙය හුදෙක් 3%ක හෝ 4%ක සුළු වෙළෙඳපොළ කොටසක් වූවා නම් රජයට එය පියවා ගැනීමේ හැකියාව තිබුණද, 43%ක් වැනි අතිවිශාල සැපයුමක් අත්හිටුවීම කිසිසේත්ම නොසලකා හැරිය නොහැක්කක් බවද හෙතෙම අවධාරණය කළේය.
මෙම මිල සංශෝධනය සිදු නොවුණේ නම්, පෞද්ගලික අංශයට අමතරව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ද දැඩි මූල්‍ය අර්බුදයකට හා මුදල් ප්‍රවාහ (cash flow) ගැටලුවලට මුහුණ පෑමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. පවතින තත්ත්වය යටතේ දැඩි පාඩුවක් ලබමින් ඉන්ධන අලෙවි කිරීම තුළින් ඉදිරි ආනයන කටයුතු සඳහා අධික පොලී අනුපාත යටතේ ණය ලබාගැනීමට සංස්ථාවට සිදුවන බවත්, එහි අවසන් ප්‍රතිඵලය ලෙස අනාගතයේදී මීටත් වඩා විශාල මිල ඉහළ යාමකට පාරිභෝගිකයාට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව, අනාගත මූල්‍ය අර්බුද වළක්වා ගනිමින් රටේ සමස්ත බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් රජය විසින් මෙම පියවර ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

