කොළඹ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඉදිකරන ලද සිරිසඳ නිවාස ව්‍යාපෘතියේ නිවාස විසි දෙකක් දේශපාලන හිතවතුන් පිරිසකට ලබා දීම සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ ඊයේ (19) කරුණු ඉදිරිපත් කරනු ලැබීය.
හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නීතිපතිවරයෙකු විසින් කරන ලද ඉල්ලීම් මත මෙම නිවාස ලබා දී ඇති බව එහිදී අනාවරණය විය. කොළඹ බ්ලූමැන්ඩල් වතු නිවාස හිමියන් සහ දුගී ජනතාව ඉලක්ක කරගනිමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබුණි.මෙම සිද්ධියට අදාළව රජයට පාඩුවක් සිදු කරමින් වෙනත් පාර්ශ්වයකට අයුතු ලාභයක් ලබා දීමේ චෝදනාව මත සිරිසඳ නිවාස ව්‍යාපෘතියේ නාගරික සංවර්ධන පුනර්ජනනීය වැඩසටහන් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික බ්‍රිගේඩියර් රංජිත් සමරසිංහ නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. රුපියල් කෝටි තිස් නවයකට අධික පිරිවැයක් දරා 2014 වසරේදී ඉදිකරන ලද මෙම නිවාස සංකීර්ණයේ නිවාස 366ක් දුප්පත් ජනතාවට ලබා දීමට නියමිතව තිබුණද, ඉන් නිවාස 22ක් නීති විරෝධී ලෙස මෙලෙස හිතවතුන් අතරේ බෙදා දී ඇති බව අල්ලස් කොමිසම පෙන්වා දුන්නේය. සාමාන්‍යයෙන් මෙම නිවාස ලබා දීමේදී අදාළ වතුවල වසර පහක් පදිංචිව සිටීම මෙන්ම ජල සහ විදුලි බිල්පත් පරීක්ෂා කිරීම සිදු කළද, අදාළ පුද්ගලයන් විසි දෙදෙනාට නිවාස ලබා දී ඇත්තේ එම කිසිදු සුදුසුකමක් නොමැතිව බවද අධිකරණයේදී වැඩිදුරටත් ප්‍රකාශ විය.
මෙම නිවාස හිමිවූවන්ගේ නාමලේඛනයක් ද අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, ඒ අනුව හිටපු ජනාධිපති ආර්යාවගේ රූපලාවණ්‍ය ශිල්පිනිය සහ තෙරපිවරිය, හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙක්, ජනපති මන්දිරයේ සේවය කළ ගෘහ සේවිකාවන් දෙදෙනෙක්, ලිපිකරුවෙක් සහ කම්කරුවෙක් ඒ අතර වෙති. මීට අමතරව නාවික හමුදා ලුතිනන්වරයෙක්, හිටපු පුවත්පත් කතුවරයෙක්, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ නිවසේ සේවකයෙක්, ජනාධිපති කාර්යාලයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරයෙක්, ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය සහායකයෙක්, හිටපු නීතිපතිවරයකුගේ නිවසේ සේවිකාවක් සහ සිංගප්පූරුවේ තානාපති කාර්යාලයක සේවය කළ ගෘහ සේවිකාවක් ද මෙම නිවාස ලබාගත් අය අතරට ඇතුළත් වේ. මහේස්ත්‍රාත්වරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අල්ලස් කොමිසම සඳහන් කළේ මෙම නිවාසවලින් හතරක කිසිවෙකුත් පදිංචිව නොමැති බවත්, සමහර නිවාස කුලියට දී ඇති බවත්, සිංගප්පූරුවේ සිටින කාන්තාව මෙරටට නොපැමිණම නිවාසයක් ලබාගෙන ඇති බවත්ය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් ප්‍රකාශ කළේ අදාළ ප්‍රභූන්ගේ ඉල්ලීම මත මැතිවරණ සමයකදී මෙම නිවාස ලබා දුන්නේ නම් එය අවලංගු කිරීමේ බලය නිවාස සංවර්ධන අධිකාරිය සතුව පැවති බවයි. එසේ නොකර අල්ලස් කොමිසම මෙලෙස කටයුතු කිරීම ප්‍රායෝගික නොවන බවත්, තම සේවාදායකයා විශ්‍රාමික නිලධාරියෙකු වන අතර ඔහු කටයුතු කර ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට යටත්ව බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය. ඊට ප්‍රතිචාර දක්වමින් අල්ලස් කොමිසම කියා සිටියේ නිවාසලාභීන්ගේ ලිපින බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ඒවා ලෙස ව්‍යාජව සටහන් කර සැකකාර අධ්‍යක්ෂවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලය මුළුමනින්ම නොමග යවා ඇති බවයි. නඩු විභාගයට අදාළ කරුණු පසුව ඉදිරිපත් කරන ලෙසත් මේ අවස්ථාවේදී ඇප යෝජනාව සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු කරන ලෙසත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී නීතිඥවරයාට දැනුම් දුන්නේය.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරු විශ්‍රාමික නිලධාරියෙකු වීම සහ විමර්ශනවලට බලපෑම් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කරුණු සලකා බලා ඔහුට ඇප නියම කිරීමට තීරණය කළේය. ඒ අනුව රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියෝග කළ අධිකරණය, ඔහුට විදෙස් ගමන් තහනමක් ද පැනවීය. සාක්ෂිකරුවන්ට හෝ විමර්ශන කටයුතුවලට කිසිදු ආකාරයකින් බලපෑම් නොකරන ලෙසට සැකකරුට දැඩි ලෙස අවවාද කළ මහේස්ත්‍රාත්වරයා, අදාළ විමර්ශනවල ප්‍රගතිය එළඹෙන ජුනි මස 16 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට වැඩිදුරටත් නියෝග කළේය.

