ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය පුහුණු කාර්ය මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ තීරණයකට එළඹ ඇති අතර, ඒ යටතේ මෙරට බිහි වූ විශිෂ්ට ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම නව වගකීම් පැවරීමට නියමිතය. ඒ අනුව හිටපු ක්‍රීඩකයන් වන අශාන් ප්‍රියංජන, නුවන් කුලසේකර සහ රංගන හේරත් යන මහත්වරුන් සඳහා ක්‍රිකට් පුහුණු අංශයේ විශේෂ අවස්ථා හිමිවනු ඇත.
මෙහි ප්‍රධාන වෙනසක් ලෙස ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අශාන් ප්‍රියංජන මහතා පත් කර තිබේ. මේ දක්වා එම තනතුරේ කටයුතු කළ අවිශ්ක ගුණවර්ධන මහතා වයස අවුරුදු 19න් පහළ ජාතික සංචිතයේ ප්‍රධාන පුහුණුකරු ලෙස අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත. දේශීය ක්‍රිකට් පිටිය තුළ කොළඹ ක්‍රිකට් සමාජය (CCC) වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ ප්‍රියංජන මහතා, පසුකාලීනව එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කරමින් ලබාගත් පරිචය හා අත්දැකීම් මෙම නව පත්වීමට ප්‍රබල හේතුවක් වී තිබේ.
නව පුහුණුකරු අශාන් ප්‍රියංජන මහතාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මුහුණ දෙන පළමු අභියෝගය වන්නේ ලබන මස 2 වැනිදා දිවයිනට පැමිණෙන නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියයි. මීට වසරකට පමණ පෙර සිටම ක්‍රිකට් පුහුණු ව්‍යුහය තුළ මෙම වෙනස්කම් සිදු කිරීමට සැලසුම් කර තිබුණද, ශ්‍රී ලංකාවේ පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය හේතුවෙන් එම සැලසුම් ක්‍රියාත්මක කිරීම තාවකාලිකව කල් දැමීමට සිදුවිය. මේ අතරතුර, හිටපු සුපිරි පන්දු යවන්නන් වන නුවන් කුලසේකර සහ රංගන හේරත් යන මහත්වරුන්ට ද ඉදිරි සතිය ඇතුළත නව පුහුණු වගකීම් පැවරීම සම්බන්ධයෙන් මේ වනවිටත් සාකච්ඡා ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙම සියලු වෙනස්කම් සිදු කෙරෙන්නේ ලබන මස 15 වැනිදා සිට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාරගැනීමට නියමිත දකුණු අප්‍රිකානු ජාතික ගැරී කර්ස්ටන් මහතාගේ පැමිණීමට පෙරය. ඒ අනුව ඔහුගේ ආගමනයට ප්‍රථමයෙන් ‘ඒ’ කණ්ඩායම, නැගී එන කණ්ඩායම සහ 19න් පහළ කණ්ඩායම්වල පුහුණු ව්‍යුහයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් මෙලෙස සිදු කර ඇත. මීට අමතරව කර්ස්ටන් මහතාගේ උපදෙස් සහ ඉල්ලීම් මත ජාතික කණ්ඩායමට දැනට අනුයුක්ත කර සිටින විවිධ අංශවල සහාය පුහුණුකරුවන්ගේ ද වෙනස්කම් රැසක් ඉදිරියේදී සිදු වනු ඇතැයි වාර්තා වේ.
පසුගිය ලෝක කුසලාන තරගාවලිය නිමාවීමත් සමඟ හිටපු ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා සිය තනතුරෙන් ඉවත් වූ අතර, ඒ වෙනුවට සුදුසුකම් ලත් විදෙස් පුහුණුකරුවෙකු සෙවීමේ අරමුණින් සිදුකළ සාකච්ඡා වට කිහිපයකින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගැරී කර්ස්ටන් මහතා මෙම තනතුරට තෝරා ගන්නා ලදී. ඔහු 2008 වසරේ සිට 2011 වසර දක්වා ඉන්දීය ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, ඔහුගේ ධුර කාලයේ අවසන් වසරේදී 2011 එක්දින ලෝක කුසලානය ඉන්දියාවට දිනා දීමට ද ඔහු සමත් විය. ඉන්පසුව 2011 සිට 2013 දක්වා දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමේ කළමනාකාරීත්වය භාරගත් කර්ස්ටන් මහතා, සියලුම ක්‍රිකට් ආකෘතීන් යටතේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානය දක්වා ඔසවා තැබීමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය.

