ඉතාලියේ මිලානෝ නගරයේදී සිදුවූ අතිශය ඛේදනීය රිය අනතුරකින් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණයෙකු සහ ඔහුගේ පෙම්වතිය බව කියන ඉතාලි ජාතික තරුණියක ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් පසුගියදා වාර්තා විය. ඉකුත් මාර්තු 20 වැනි සිකුරාදා සහ 21 වැනි සෙනසුරාදා අතර මැදියම් රාත්‍රිය ගෙවී අලුයම 3.30 ත් 3.50 ත් අතර කාලයේදී මිලානෝ නගරයේ නැගෙනහිර කලාපයේ පිහිටි Viale Campania සහ Viale Corsica යන මාර්ග එකිනෙක හමුවන මංසන්ධියේදී මෙම මාරක අනතුර සිදුවී තිබේ.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉතාලියේ ටස්කනි ප්‍රදේශයට අයත් ලූකා හි කපන්නෝරි (Capannori) හි පදිංචිව සිටි 23 හැවිරිදි මිතුම් සංදීප පෙරේරා කුරණගේ නමැති ශ්‍රී ලාංකික තරුණයා සහ මිලානෝ හි Locate Triulzi හි පදිංචිව සිටි 20 හැවිරිදි එල්සා තියදෝරා (Elisa Teodora Dranca) නමැති රුමේනියානු සම්භවයක් සහිත ඉතාලි ජාතික තරුණියයි. ඔවුන් දෙදෙනා ගමන් ගත් අධිබලැති යතුරුපැදියක් ටැක්සි රථයක ගැටීමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇත.අනතුර සිදුවන අවස්ථාවේදී මිතුම් විසින් පදවනු ලැබ ඇත්තේ කොළ පැහැති Kawasaki Ninja 650 වර්ගයේ අධිබලැති යතුරුපැදියකි. මිලානෝ ප්‍රාදේශීය පොලිසිය සහ රථවාහන අංශ විසින් සිදුකරන ලද මූලික විමර්ශනවලට අනුව, මිතුම් සිය යතුරුපැදිය Viale Campania මාර්ගය ඔස්සේ දකුණු දෙසට, එනම් Piazzale Corvetto දෙසට ඉතා අධික වේගයකින් පදවාගෙන පැමිණ තිබේ. එම අවස්ථාවේදී අදාළ මංසන්ධියේ රථවාහන ආලෝක සංඥා පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් පැවති අතර, යතුරුපැදිය ගමන් ගත් දිශාවට රතු ආලෝක සංඥාව දැල්වී තිබී ඇත. එහෙත් වේගය පාලනය කරගැනීමට හෝ රතු සංඥාවට අවනත වීමට අපොහොසත් වී ඇති යතුරුපැදිය, හරස් මාර්ගය වෙත වේගයෙන් ඇතුළු වී තිබේ. ඒ සමඟම Corso XXII Marzo මාර්ගයේ සිට පැමිණ Viale Forlanini සහ ලිනාටේ ගුවන් තොටුපළ (Linate airport) දෙසට කොළ පැහැති ආලෝක සංඥාව යටතේ නිවැරදිව ධාවනය වෙමින් තිබූ ටැක්සි රථයක යතුරුපැදිය අතිශය දරුණු ලෙස ගැටී ඇත.
මෙම ගැටුමේ ප්‍රබලත්වය කෙතරම්ද යත්, 61 හැවිරිදි පුද්ගලයෙකු විසින් පදවන ලද එම ටැක්සි රථය මාර්ගය පසෙක වූ ට්‍රෑම් රථ නැවතුම්පොළක් අසලින් පෙරළී ගොස් ඇත. අධිබලැති යතුරුපැදියක් මෝටර් රථයක ගැටී එම රථය පෙරළී යාමට තරම් එම අනතුරේ ස්වභාවය දරුණු වී ඇති අතර, ගැටුමත් සමඟම යතුරුපැදියේ ගමන් ගත් මිතුම් සහ එල්සා යන තරුණ යුවළ මීටර් ගණනාවක් ඈතට විසිවී ගොස් මාර්ගය මතට වැටී තිබේ. අනතුර සිදුවී මිනිත්තු කිහිපයක් ඇතුළත 118 හදිසි ගිලන්රථ සේවා සහ වෛද්‍ය කණ්ඩායම්, පොලිසිය මෙන්ම ගිනි නිවන භටයින් ද එම ස්ථානයට ළඟා වී ඇත. කෙසේ වෙතත්, ඒ වන විටත් එම තරුණ යුවළගේ හෘද ස්පන්දනය නතර වී තිබූ අතර, ඔවුන්ගේ සිරුරු පුරා සිදුවී තිබූ බරපතල තුවාල සහ කම්පනය හේතුවෙන් ඔවුන්ට යළි පණ දීමට වෛද්‍ය කණ්ඩායම් ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ගොස් තිබුණි. ඒ අනුව ඔවුන් දෙදෙනාම අනතුර සිදුවූ ස්ථානයේදීම මියගොස් ඇති බව තහවුරු විය. කම්පනයට සහ සුළු තුවාලවලට ලක්වූ ටැක්සි රථයේ රියදුරා කහ පැහැති කේතය (Code yellow) යටතේ Policlinico රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.
පොලිසිය විසින් අනතුරට අදාළ සීසීටීවී (CCTV) දර්ශන සහ ටැක්සි රථයේ සවිකර තිබූ ඩෑෂ් කැමරාවේ (Dash-cam) දර්ශන මේ වන විටත් පරීක්ෂාවට ලක් කරමින් සිටින අතර, යතුරුපැදිය රතු ආලෝක සංඥාව නොසලකා ධාවනය කිරීම අනතුරට ප්‍රධාන හේතුව බව එම දර්ශන මගින් තවදුරටත් තහවුරු වී ඇත. මෙම ඛේදවාචකයෙන් මියගිය එල්සා තියදෝරා ඉකුත් පෙබරවාරි 9 වැනිදා සිය 20 වැනි උපන්දිනය සැමරූ තරුණියකි. ඇය Scalo Milano හි වෙළඳසැලක සේවය කරමින් සිටි අතර, මීළඟ වසරේදී Cattolica විශ්වවිද්‍යාලයේ අලෙවිකරණය පිළිබඳ උපාධියක් හැදෑරීම සඳහා මුදල් ඉතිරි කරමින් සිටියාය. ඇය එදින රාත්‍රියේ සිය මිතුරියන් සමග Navigli ප්‍රදේශයේ Cobà නම් ස්ථානයක උපන්දින සාදයකට සහභාගි වී ඇත. පසුදින උදෑසන 10.00 ට සේවයට වාර්තා කිරීමට තිබූ බැවින් ඇය රාත්‍රිය බෝවීමට පෙර නිවසට යාමට අපේක්ෂාවෙන් පසුවී තිබේ.
අනෙක් පසින් මියගිය මිතුම් සංදීප, සතියේ දිනවල දේපළ වෙළඳාම් ආයතනයකත්, සතිඅන්තයේ බාර්මන් (Barman) වරයෙකු ලෙසත් රැකියා දෙකක නිරත වෙමින් සිය අනාගතය ගොඩනගා ගැනීමේ අරමුණින් ඉකුත් ජනවාරි මාසයේදී ලූකා හි කපන්නෝරි ප්‍රදේශයේ සිට මිලානෝ නගරය වෙත පැමිණි උත්සාහවන්ත තරුණයෙකි. එල්සාගේ මිතුරියක වන ඇනා හරහා මීට සතියකට පමණ පෙර මිතුම් සහ එල්සා හඳුනාගෙන තිබූ අතර, අනතුර සිදුවූ දිනය ඔවුන් දෙදෙනා එකිනෙකා මුණගැසුණු දෙවන අවස්ථාව විය. එදින රාත්‍රී 2.00 ට පමණ සිය රැකියාව අවසන් කළ මිතුම්, යතුරුපැදියෙන් ගොස් එල්සාව මුණගැසී ඇති අතර, පසුව දෙදෙනා එක්ව හැම්බර්ගර් ආහාරයට ගෙන ඇත. එල්සා සිය නිවසට ඇරලවීම සඳහා මිතුම් ඇයව යතුරුපැදියේ නංවාගෙන යමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබේ. අනතුරට පෙර එල්සා සිය මිතුරිය වන ඇනා වෙත යැවූ අවසන් කෙටි පණිවිඩයේ "මා ඔබට ආදරය කරන බවත්, සදහටම ආදරය කරන බවත් මතක තබා ගන්න" යනුවෙන් සටහන් කර තිබීම බොහෝ දෙනෙකුගේ නෙතට කඳුළක් එක් කළ සිදුවීමක් විය.
මෙම අනතුරින් මියගිය මිතුම් සංදීප යනු හුදෙක් සාමාන්‍ය තරුණයෙකු පමණක් නොව, ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ දක්ෂ මලල ක්‍රීඩකයෙකු වූ මනුර ලංකා කුරණගේ ගේ වැඩිමහල් පුත්‍රයාය. මනුර ලංකා යනු 2000 වසරේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ, එමෙන්ම මීටර් 400 සහාය දිවීමේ ඉසව්වෙන් ආසියාවම පරාජය කරමින් ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් පිහිටුවීමට දායක වූ විශිෂ්ට ක්‍රීඩකයෙකි. රොහාන් ප්‍රදීප් කුමාර, වී. රත්නකුමාර් සහ රංග විමලවංශ යන ක්‍රීඩකයින් සමග එක්ව මනුර ලංකා එකල ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දැවැන්ත පෙරළියක් සිදු කළේය. "රිලේ එකට වෙනම මනුර තියලා තිබ්බෙ. එයා ඒකට ස්පෙෂල් නිසා" යනුවෙන් එකල ක්‍රීඩා ලෝලීන් අතර පැවති කතාබහෙන් ඔහුගේ විශිෂ්ටත්වය මොනවට පැහැදිලි වේ. කෙසේ වෙතත්, මිතුම්ගේ පියා වූ මනුර ලංකා ඇතුළු පවුලේ සාමාජිකයින් (මව සහ මාස තුනකට පමණ පෙර මිතුම් සමග ලංකාවට පැමිණ ගිය ඔහුගේ සහෝදරයා) වසර ගණනාවක සිට ඉතාලියේ ස්ථිරව පදිංචිව සිටිති.
