is-there-a-shortage-of-medicine-if-the-sea-and-air-are-blocked-due-to-war

ගෝලීය වශයෙන් නාවික සහ ගුවන් ගමන් මාර්ගවලට එල්ල වී ඇති අඛණ්ඩ අවහිරතා හේතුවෙන් මෙරට ඖෂධ සැපයුම සම්බන්ධයෙන් ඉදිරියේදී යම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. දැනට පවතින අතිරේක ඖෂධ තොග හේතුවෙන් මේ මොහොතේ රට තුළ ඖෂධ හිඟයක් මතු වී නොමැති වුවද, ජාත්‍යන්තර ප්‍රවාහන මාර්ග තවදුරටත් ඇනහිටියහොත් එය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ රෝගී සත්කාරක සේවාවලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි බලධාරීහු අනතුරු අඟවති.




මෙම තත්ත්වය හමුවේ මතුවිය හැකි හදිසි ඖෂධ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා කඩිනම් මිලදී ගැනීම් සිදුකරන ආකාරය පිළිබඳව රජය මේ වන විටත් ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සංවිධාන තුනක් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලය (UNOPS) යන ආයතන සමඟ අදාළ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මූලික සාකච්ඡා පවත්වා ඇති බවයි.

ජාත්‍යන්තර මැදිහත්වීම්වලට අමතරව, ඉදිරියේදී ඇතිවිය හැකි ප්‍රවාහන ප්‍රමාදයන්ට මුහුණ දීම සඳහා ගත යුතු විකල්ප ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් සමඟ ද අභ්‍යන්තර සාකච්ඡා මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත. මීට සමගාමීව, ඉදිරි මාස හතරක කාලයක් සඳහා ප්‍රමාණවත් වන ඖෂධ වර්ග හයක් ඉරානයෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග තහවුරු කරයි. ඉදිරියේදී අවශ්‍යතාවයක් මතු වුවහොත් එම ඖෂධ තවදුරටත් මෙරටට සැපයීම සඳහා ද ඉරාන රජය සිය එකඟතාවය පළ කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කර සිටී.