පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් වශයෙන් පිරිපහදු කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 38,000ක් රැගත් ඉන්දීය නෞකාවක් අද (28) දිනයේ ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (27) නිවේදනය කළේය.
ලංකා අයි.ඕ.සී. සමාගම හරහා මෙරට ඉන්ධන සැපයුම කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා සහාය වීමේ අරමුණින් ඉන්දීය රජය විසින් මෙම පියවර ගෙන තිබේ. මාර්තු මාසය සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මැදපෙරදිග සහ සිංගප්පූරුව යන කලාපවලින් ලබා ගැනීමට ලංකා අයි.ඕ.සී. සමාගම මීට පෙර එකඟතා ඇති කරගෙන තිබුණි. එහෙත්, ඉරාන යුද තත්ත්වය හේතුවෙන් ඇතිවූ බලපෑම මත එම ඉන්ධන ඇණවුම් ගිවිසුම්ගත පරිදි නියමිත වේලාවට සැපයිය නොහැකි බව අදාළ සැපයුම්කරුවන් විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත.
මෙම තත්ත්වය හමුවේ ඉන්ධන හිඟයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා, ඉන්දීය තෙල් සංස්ථාව හරහා ඉන්දීය රජයේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ. අද දිනයේ මෙරටට පැමිණෙන මෙම ඉන්ධන නෞකාව එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් මෙන්ම ලබාදුන් සහායේ එක් පියවරක් ලෙස සැලකේ.
මේ අතර, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර මෑතකදී දුරකථන සංවාදයක්ද පවත්වා තිබේ. මීට පෙර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර ද සාකච්ඡාවක් පැවැත්වුණු බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. මෙම ඉහළ පෙළේ සාකච්ඡා ද්විත්වයේදීම ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර සාකච්ඡා වී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

