
ශ්‍රී ලංකාව පුරා මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය ඉදිරි මැයි මාසයේ අවසානය දක්වාම නොවෙනස්ව පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මෙම අධික උණුසුම් තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ අන්තර් මෝසම් කාලසීමාව හා සමගාමීව සුළං ප්‍රවාහයේ දක්නට ලැබෙන දුර්වල ස්වභාවය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පෙන්වා දෙයි.
රටේ බොහෝ ප්‍රදේශවලට මේ වන විටත් දැඩි රස්නයක් දැනෙමින් පවතින අතර, ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම 'අවධානය යොමු කළ යුතු' අවදානම් මට්ටමක පවතින බැවින් ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස හෙතෙම අදාළ ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා නිතර ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ හැකිතාක් සෙවණ සහිත ස්ථානවල විවේකීව කාලය ගත කිරීම ඉතා වැදගත් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
ඊට අමතරව කුඩා දරුවන්, වයෝවෘද්ධ මෙන්ම රෝගී පුද්ගලයන් සම්බන්ධයෙන් මෙම දිනවල වඩාත් සැලකිලිමත් විය යුතු බවට ඔවුන් උපදෙස් දෙයි. තවද, දැඩි වෙහෙසකර ක්‍රියාකාරකම් සීමා කරන ලෙසත්, ශරීරයට පහසුවක් ගෙන දෙන ලා පැහැති හෝ සුදු පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතයට ගන්නා ලෙසත් අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

