ත්‍රිකුණාමලය, පරෙවි දූපත ආශ්‍රිත මුහුදු තීරයේදී ප්‍රංශ ජාතික සංචාරක තරුණියකට අතවර කළ බවට චෝදනා ලැබූ තරුණයෙකු කුච්චවේලි සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 26 වැනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සැකකරු කුච්චවේලි, ගෝපාලපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය තහවුරු කරයි.
මෙම විදේශීය තරුණිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ ත්‍රිකුණාමලය, ඇලස්වත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිට ඇත. එම කාලය තුළ මුහුදු වෙරළට ගිය අවස්ථාවකදී ඇය මෙම සැකකාර තරුණයා සමඟ හඳුනාගෙන, පසුව ඔවුන් අතර යම් හිතවත්කමක් ගොඩනැඟී තිබේ.
අනතුරුව ඔවුන් දෙදෙනාම එක්ව බෝට්ටුවක් මගින් පරෙවි දූපත වෙත ගොස් ඇති අතර, එහිදී කිමිදුම් උපකරණ පැළඳ මුහුදේ පිහිනමින් සිටියදී මෙම අතවරය සිදුව ඇති බව වාර්තා වේ. මුහුද යටදී අදාළ තරුණයා තමන්ට හිරිහැර කළ බවට එම ප්‍රංශ ජාතික තරුණිය විසින් පරෙවි දූපතේ රාජකාරියේ නියුතුව සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ට පැමිණිලි කර ඇත.
තරුණියගේ පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වූ ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සැකකරු අල්ලාගෙන වැඩිදුර විමර්ශන සඳහා කුච්චවේලි සංචාරක පොලිසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක අමරකෝන් මහතා වෙත භාර දීමට කටයුතු කර තිබේ. ඉන් අනතුරුව පොලිසිය විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

