ලංකා සුදු ඩීසල් මිල ඉහළ යාමට සමගාමීව ක්‍රියාත්මක වන පරිදි, අද (23) මධ්‍යම රාත්‍රියේ සිට පොදු මගී බස් ගාස්තුව 12.19% කින් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මේ බව තහවුරු කළ අතර, ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම නව ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වනු ඇත.
මෑතකදී සිදුවූ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තුවට 10% කට වැඩි බලපෑමක් එල්ල වී ඇති බව කොමිෂන් සභාව පෙන්වා දී තිබූ අතර, බස් සංගම් විසින් 15% ක ගාස්තු වැඩිවීමක් බලධාරීන්ගෙන් ඉල්ලා තිබූ පසුබිමක අදාළ බලධාරීන් මෙම තීරණයට එළඹ ඇත.මෙම නව ගාස්තු සංශෝධනයට අනුව මෙතෙක් රුපියල් 27ක් ලෙස පැවති අවම බස් ගාස්තුව රුපියල් 3කින් ඉහළ නංවා ඇති අතර, ඒ අනුව නව අවම ගාස්තුව රුපියල් 30ක් ලෙස නියම වේ. එසේම, මෙතෙක් රුපියල් 2,159ක් ලෙස සටහන් වූ ඉහළම ගාස්තු කාණ්ඩය රුපියල් 263කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 2,422ක් දක්වා වර්ධනය වී තිබේ.
බස් ගාස්තු ඉහළ යාමට අමතරව, බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ ගාස්තු ද ඉහළ නැංවීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අද දිනයේ පියවර ගෙන ඇත. ඒ අනුව, ත්‍රිරෝද රථ ගමන් සඳහා පළමු කිලෝමීටරයට රුපියල් 110ක් සහ දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 90ක් ලෙස නව ගාස්තු අයකරනු ලබයි.
නව ගාස්තු සංශෝධනයත් සමඟ මගීන්ගෙන් නියමිත ගාස්තුව පමණක් අය කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ පෞද්ගලික බස් රථ ධාවකයින්ට දැඩිව දැනුම් දී ඇත. නියමිත ගණනට වඩා වැඩි මුදලක් අය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව අවධාරණය කරන කොමිසම, එවැනි අක්‍රමිකතාවක් සිදුවුවහොත් වහාම 1955 ක්ෂණික ඇමතුම් අංකයට හෝ 0712595555 යන වට්ස්ඇප් අංකයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.



