කොළඹ නගර සීමාව තුළ රථවාහන ගාල් කිරීම වෙනුවෙන් මින් පෙර අත්හිටුවා තිබූ ගාස්තු අය කිරීමේ ක්‍රියාවලිය හෙට (23) උදෑසන 6.00 සිට යළි ක්‍රියාත්මක කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර ඇත.
වාහන නැවැත්වීමේ ගාස්තු යළි අය කිරීම සම්බන්ධයෙන් වූ මෙම නව තීරණයට එළඹ ඇත්තේ කොළඹ මහ නගර සභාවේ මුදල් කටයුතු පිළිබඳ ස්ථාවර කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.
පසුගිය කාලසීමාවේදී ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දැඩි රථවාහන පෝලිම් නිර්මාණය වී තිබූ අතර, එමගින් නගරයේ රථවාහන ගාල් කරන ස්ථානවලටද දැඩි බලපෑම් එල්ල වී තිබුණි. ඒ හේතුවෙන් ඉන්ධන ලබාගැනීමේ අරමුණින් පැමිණෙන ජනතාවට යම් සහනයක් සලසා දීමේ පියවරක් වශයෙන් පසුගිය මාර්තු මස 18 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ නැවතුම් ගාස්තු අයකිරීම තාවකාලිකව නතර කිරීමට නගර සභාව පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, මේ වන විට කියු ආර් (QR) කේත ක්‍රමය මෙන්ම වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම ඔත්තේ හෝ ඉරට්ටේද යන්න මත පදනම්ව ක්‍රමවත් ලෙස ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම නව ක්‍රමවේදයන් හේතුවෙන් කොළඹ නගරයේ පිරවුම්හල් ආශ්‍රිතව පැවති වාහන පෝලිම් සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බව නිරීක්ෂණය වීමත් සමඟ මෙලෙස යළිත් රථවාහන ගාල් කිරීමේ ගාස්තු අය කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.

