දශක ගණනාවකට පසු ලෝකය මුහුණ දෙන දරුණුතම බලශක්ති අර්බුදයෙන් ගැලවීමට කිසිදු රටකට හැකියාවක් නොමැති බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) විධායක අධ්‍යක්ෂ ෆාතිහ් බිරෝල් අනතුරු අඟවයි. ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ජාතික මාධ්‍ය සමාජය අමතමින් අද දින ඔහු මේ බව ප්‍රකාශ කළේය.
පෙබරවාරි අග භාගයේදී උත්සන්න වූ ඉරාන යුද තත්ත්වය සහ ඒ හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමෙන් සියයට විස්සක් පමණ ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව වී තිබේ. මෙය 1970 දශකයේ ඇති වූ තෙල් අර්බුදයටත් වඩා ඉතා බරපතල තත්ත්වයක් බව ඔහු පෙන්වා දෙයි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆාතිහ් බිරෝල් සඳහන් කළේ, 1970 දශකයේ ඇති වූ තෙල් අර්බුද දෙක අප බොහෝ දෙනෙකුට මතක ඇති බවත්, එම අර්බුද දෙකේදීම ලෝකයට අහිමි වූයේ දිනකට තෙල් බැරල් මිලියන 5 බැගින් බවත්ය. නමුත් අද වන විට දිනකට තෙල් බැරල් මිලියන 11ක් ලෝකයට අහිමි වී ඇති බවත්, මෙය ප්‍රධාන තෙල් අර්බුද දෙකක් එකතු කළාටත් වඩා දරුණු තත්ත්වයක් බවත් ඔහු පැවසීය. වත්මන් අර්බුදය යනු තෙල් අර්බුද දෙකක සහ එක් ගෑස් අර්බුදයක එකතුවක් බව විග්‍රහ කළ ඔහු, මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් කිසිදු රටකට මෙහි බලපෑමෙන් මිදීමට නොහැකි වනු ඇති බැවින් ඒකාබද්ධ ගෝලීය ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව දැඩිව අවධාරණය කළේය.
ගෝලීය ආර්ථිකය අද වන විට දැවැන්ත තර්ජනයකට මුහුණ දී ඇති බවත්, මෙම ගැටලුව හැකි ඉක්මනින් විසඳෙනු ඇතැයි තමන් දැඩිව බලාපොරොත්තු වන බවත් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා ප්‍රකාශ කළේය. මෙම දැවැන්ත ගැටලුව සඳහා ඇති එකම සහ වැදගත්ම විසඳුම වන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම පමණක් බවද ඔහු තහවුරු කළේය. මේ වන විටත් මැදපෙරදිග කලාපයේ රටවල් නවයකට අයත් ඛනිජ තෙල් නිධි, පිරිපහදු සහ නල මාර්ග ඇතුළු බලශක්ති යටිතල පහසුකම් 40කට වැඩි ප්‍රමාණයක් දැඩි ලෙස විනාශයට පත්ව ඇති අතර, යුද්ධය අවසන් වුවද ගුවනින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ගිනිගෙන දැවෙන මෙම පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට මාස හෝ වසර ගණනාවක් ගතවනු ඇතැයි ගණනය කර තිබේ.
මෙම හදිසි තත්ත්වයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට අයත් සාමාජික රටවල් සිය උපායමාර්ගික සංචිතවලින් තෙල් බැරල් මිලියන 400ක වාර්තාගත ප්‍රමාණයක් මේ වන විටත් වෙළඳපොළට නිකුත් කර ඇත. එය ඔවුන්ගේ සමස්ත සංචිතවලින් සියයට විස්සක පමණ ප්‍රතිශතයකි. අවශ්‍ය වුවහොත් තවත් තෙල් සංචිත මුදා හැරීම සම්බන්ධයෙන් ආසියානු සහ යුරෝපා රජයන් සමඟ මේ වන විටත් සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ. කෙසේ වෙතත්, සංචිත මුදා හැරීම මගින් වෙළඳපොළට යම් සහනයක් ලබා දුන්නද එය ස්ථිර විසඳුම නොවන බවත්, ඉන් සිදුවන්නේ ආර්ථිකයට සිදුවන වේදනාව යම්තාක් දුරකට සමනය කිරීම පමණක් බවත් බිරෝල් මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා මැදපෙරදිගින් පැමිණෙන බොරතෙල් මත සම්පූර්ණයෙන්ම යැපෙන ශ්‍රී ලංකාව වැනි රටවලට මෙම අර්බුදය සෘජුවම බලපා තිබේ. මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ ඉන්ධන මිල සියයට 25කින් පමණ ඉහළ නංවා ඇති අතර, ඇතැම් වාර්තාවලට අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 398 සීමාව ඉක්මවා ඇත. ඉන්ධන සංරක්ෂණය කිරීමේ අරමුණින් රාජ්‍ය අංශය සඳහා සතියේ වැඩ කරන දින ගණන හතරක් දක්වා අඩු කර ඇති අතර, බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. දිගුකාලීන මැදපෙරදිග අර්බුදයක් සඳහා ජාතිය සූදානම් විය යුතු බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද අනතුරු අඟවා ඇත. 2022 වසරේ ආර්ථික පසුබෑමෙන් මිදෙමින් සිටින ශ්‍රී ලංකාවට මෙම අර්බුදය හේතුවෙන් අතිරේක බිලියන ගණනක ආනයන බිලක් පියවීමට සිදුවීම හරහා උද්ධමනය, ප්‍රවාහන, විදුලිබල සහ කෘෂිකාර්මික අංශ කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වීමේ අවදානමක් නිර්මාණය වී තිබේ.

