ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා රාජපක්ෂ පවුලට හිතවත් ස්වාමීන් වහන්සේ නමක වන ඉත්තෑපානේ සද්ධාතිස්ස හිමි තෙල් මිල ඉහළයාම සම්බන්ධයෙන් යූටියුබ් නාලිකා ජාලය අමතමින් විවේචනාත්මකව අදහස් දක්වා තිබේ. එම කතාව පහත පරිදිය.
"ඇත්තටම අද දින මේ වෙනකොට ලංකාවේ ඓතිහාසික මට්ටමකින් තෙල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා.
තෙල් මිල ගැන කතා කරනකොට ඉස්සරත් අදත් අපිට වඩා ඒ ගැන කතා කළේ ගරු ජනාධිපතිතුමායි.
ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තෙල් මිල ගැන කතා කරනකොටම, අනිත් අය ගැන මම දන්නේ නැහැ, හැබැයි මට නම් හිතුණා අනිවාර්යයෙන්ම තෙල් මිල වැඩි කරන්න තමයි මේ කතා කරන්නේ කියලා.
එතුමා කිව්වේ ගබඩා සංකීර්ණ නැහැ, මේ රටේ ගබඩා සංකීර්ණ නැහැ, ගබඩා කරගන්න විදිහක් නැහැ කියලා තමයි.
ඒ කාලේ එතුමා එහෙම නෙවෙයි කිව්වේ. ඒ කාලේ කිව්වා ගබඩා සංකීර්ණ ඕනෑ තරම් තියෙනවා, ආණ්ඩුව අකාර්යක්ෂම නිසා ඒවා ප්‍රයෝජනයට ගන්නේ නැහැ කියන කතන්දරයයි එතුමා එදා කිව්වේ.
දැන් එතුමා කියනවා ගබඩා සංකීර්ණ නැහැ කියලා. අපි එතුමාගේ කතාව එතුමාගේ හඬින්ම අහන එක හොඳයි. මොකද නැත්නම් අපි කිව්වා කියලා හිතෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒක අහලා ඉමු.
බ්‍රිතාන්‍ය රජයට වන්දි ගෙවලා මේ තෙල් ටැංකි සංකීර්ණය ලංකාවට පවරා ගත්තා. අද ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 100ක් තිබුණත්, ඉන් එකක් විනාශ වී ඇති අතර 99ක් හොඳ මට්ටමේ තිබෙනවා.
මේ ටැංකි 99 විකිණීම සම්බන්ධව 2001 අවුරුද්දේදී රනිල් වික්‍රමසිංහ මහතා IOC සමාගමත් එක්ක ගිවිසුමක් අත්සන් කළා.
හැබැයි ඒ ගිවිසුමේ තියෙන සියලු කොන්දේසි දැන් අවලංගු වෙලයි තිබෙන්නේ. ඒ ගිවිසුමකට වඩා එය එකඟතාවයක්. ඒ එකඟතාවයේම තියෙනවා මාස 6ක් ඇතුළත විධිමත් ගිවිසුමක් අත්සන් කළ යුතු බව. හැබැයි මාස 6 ඉක්ම ගිහිල්ලා සැලකිය යුතු කාලයක් ගතවී තිබුණත් එවැනි විධිමත් ගිවිසුමක් අත්සන් කරලා නැහැ.
ඒ වගේම එහි ඉඩම්වල අයිතිය තිබුණේ වරාය අධිකාරියටයි. ඒ නිසා කිසිසේත්ම එම ගිවිසුමේ භාරකාරත්වය වරාය අධිකාරියට පත්වී නැහැ.
ඒ නිසා එතැන තියෙන්නේ කිසිසේත්ම වලංගු නොවන ගිවිසුමක්.
ඒ නිසා මේ තෙල් ටැංකි සංකීර්ණය අද අපේ ජාතික සම්පතක් වෙනවා.
කොච්චරක්ද? දැන් එතැන තෙල් ටැංකි 99ක් තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් තෙල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් එම තෙල් ටැංකිවල ගබඩා කරන්න පුළුවන්.
කොළොන්නාවෙත්, මුතුරාජවෙලත් කියන ස්ථාන දෙකේම සියලු තෙල් ටැංකිවල ගබඩා කිරීමේ ධාරිතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 4යි.
නමුත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ මෙට්‍රික් ටොන් දස ලක්ෂයක් ගබඩා කරන්න පුළුවන්.
කොළොන්නාවෙන් සහ මුතුරාජවෙලින් තෙල් බවුසර් පිටත් කර හැරීම නිසා අද විශාල මාර්ග තදබදයක් ඇතිවී තිබෙනවා.
මේ ඔක්කොම සංසන්දනය කරලා බැලුවට පස්සේ, අපේ රටේ තෙල් බෙදා හැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට ත්‍රිකුණාමලය පත්කරන එක ඉතා වැදගත්. ත්‍රිකුණාමල වරායට අපිට ඒ තෙල් නැව් ගේන්න පුළුවන්, බට පද්ධතියෙන් එම ටැංකි සංකීර්ණ පුරවන්න පුළුවන්. එතැනට රේල් පාරකුත් තිබෙනවා. ඒ රේල් පාරෙන් තෙල් ගෙනියන්න පුළුවන්. අපේ මුළු තෙල් බෙදා හැරීමේ ජාලයම මුලින් බැඳී තිබුණේ දුම්රියත් එක්කයි.
අද ලංකාවේ ගත්තොත් ප්‍රධාන දුම්රිය ස්ථාන හැම එකක් ගාවම තෙල් ගබඩා සංකීර්ණයක් තියෙනවා. කුරුණෑගල දුම්රිය ස්ථානය ගාව ගබඩා සංකීර්ණයක් තියෙනවා, අනුරාධපුර දුම්රිය ස්ථානය ගාව තියෙනවා, හපුතලේ දුම්රිය ස්ථානය ගාව තියෙනවා, බදුල්ල දුම්රිය ස්ථානය ගාව තියෙනවා, ඒ වගේම ගාල්ල දුම්රිය ස්ථානය ගාවත් ගබඩා සංකීර්ණයක් තියෙනවා.
ඒ කියන්නේ මොකක්ද? අපේ තෙල් බෙදා හැරීමේ ජාලය දුම්රියත් එක්ක බද්ධ වෙලයි තිබුණේ.
අපි තෙල් නැව් ටික ත්‍රිකුණාමලයට ගෙනිහිල්ලා, ඒ ගබඩාවල තැන්පත් කරලා දුම්රිය හරහා තෙල් බෙදා හරිනවා නම් ලැබෙන ලාභය දැනටමත් තෙල් සංස්ථාව ඇස්තමේන්තු කරලා තිබෙනවා. උතුරු නැගෙනහිරට පමණක් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයෙන් තෙල් බෙදුවොත් අවුරුද්දකට කෝටි 250ක් ලාභයි කියලා ඔවුන් පෙන්වා දෙනවා.
ඒ කියන්නේ මේ විදිහට බවුසර්වලින් යාපනයට, මඩකලපුවට, ත්‍රිකුණාමලයට තෙල් ගෙනියනවා වෙනුවට, තෙල් නැව ත්‍රිකුණාමල වරායටම ගෙනැල්ලා එම තෙල් ටැංකි සංකීර්ණයේ ගබඩා කරලා එතැනින් බෙදා හැරියොත් අවුරුද්දකට කෝටි 250ක් ලාභයි.
දැන් මේවා අපේ රටේ සම්පත් නෙවෙයිද? ආණ්ඩුවට මේ තෙල් ගබඩා සංකීර්ණ අපේ අයිතියේ තියාගන්න ඕනැකමක් නැත්තේ ඇයි?
එහි කුඩා ප්‍රතිසංස්කරණ ටිකක් කරන්න තිබෙනවා. මීට කලින් මට මතකයි චන්දිම වීරක්කොඩි ඇමතිතුමා ඉන්න වෙලාවේ යම් විශේෂඥ කණ්ඩායමක් ඇවිල්ලා එය ගොඩනැගීම පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කළා. ඩොලර් මිලියන 100ක් 200ක් තිබුණොත් මේක හදාගන්න පුළුවන්කම තිබෙනවා. ඒක තෙල් සංස්ථාවට ණයක් අරගෙන හරි කරන්න පුළුවන්. එතකොට ඒක ගොඩනගන්න පුළුවන්. එම ගොඩනැගීම හරහා උතුරු නැගෙනහිර පළාත්වලට තෙල් බෙදීමෙන් පමණක් අවුරුද්දකට කෝටි 250ක ලාභයක් ලබන්න පුළුවන්.
මාර්ග තදබදය අවම කරගන්න පුළුවන්, බෙදා හැරීම කාර්යක්ෂම කරගන්නත් පුළුවන්. දුම්රිය දෙපාර්තමේන්තුවටත් අතිරේක ලාභ උපයන්න පුළුවන් වෙනවා.
ඒ නිසා මේවා තමයි අපේ ආර්ථිකයේ වැදගත්ම තැන්. අපේ ගබඩාවලින් හැම විටම වෙන්න ඕන දේ මොකක්ද? ඊළඟ නැව එනකොට නැවේ තිබෙන තෙල් ගබඩා කර ගැනීම සඳහා අවශ්‍ය වෙන විදිහට ගබඩා හිස් කරමින් පවත්වාගෙන යන්න ඕනෑ. එක දිගටම ගබඩා පුරවගෙන ඉන්න බැහැ.
ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත්, ත්‍රිකුණාමලයේ තියෙන IOC ගබඩා ටික අත්හැරියොත් අපිට කොළොන්නාව සහ මුතුරාජවෙල කියන මුළු ගබඩා සංකීර්ණවලම ධාරිතාව තියෙන්නේ 1,50,000ක් පමණයි.
දැන් ජනාධිපතිතුමා ඒ කාලේ කියපු කතාවයි, අද කියන කතාවයි අතර ලොකු පරස්පරයක් තියෙන්නේ.
ඉස්සර කිව්වා තෙල් ටැංකි 99ක් තියෙනවා, මේවා කෝච්චියෙන් ගෙනියන්න පුළුවන් කියලා නොයෙක් කතන්දර දහසක් කිව්වා. ඒ වගේම ඒවා ඇත්තටම කතන්දර විතරයි.
දැන් එතුමා කියනවා තෙල් ගබඩා කරන්න ස්ථාන නැහැලු. ඒක නිසා තෙල් අඩු වෙන ප්‍රමාණය අනුව තමයිලු ගේන්න වෙන්නේ.
ඒක නිසා මේ කියන කතා මොනවද කියලා මට තේරෙන්නේ නැහැ. ගරු ජනාධිපතිතුමා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කිව්වා ඩොලර් එකකින් වැඩි වුණොත් අපිට වැඩි කරන්න වෙන්නේ රුපියල් දෙකකින් කියලා. ඩොලර් එකක් කියන්නේ අද ලංකාවේ මුදලින් රුපියල් 300 ගණනක්.
එතකොට දැන් වැඩි කළේ කොහොමද? දැන් මේ එකම මාසයක් ඇතුළත තුන් වතාවක් තෙල් මිල වැඩි කරනවා.
ඒක නිසා මේක මිනිස්සුන්ට දරාගන්න අමාරුයි ජනාධිපතිතුමා. ඔබතුමා මේක තේරුම් ගන්න. මොකද මේ තෙල් මිලත් එක්ක මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි.
හේතුව තමයි ධීවර කර්මාන්තය කරන අයට මුහුදු යන්න අමාරුයි. බස් කර්මාන්තය කරන අයට ගාස්තු වැඩි කරන්නේ නැතුව ඒක කරගෙන යන්න අමාරුයි. බේකරි කර්මාන්තය කරන අයටත් ඒක කරන්න අමාරුයි.
ත්‍රීවීල් දුවන අයට ඒක කරන්න අමාරුයි, ඒ වගේම හයර් එකට කාර් දුවන අයට ඒක කරන්න අමාරුයි. එතකොට අනිත් ක්ෂේත්‍රවල, විශේෂයෙන් ගොවිතැන් කරන අයට කුඹුර හාන්න, ගොයම් කපන්න වගේ දේවල් වලට යන්ත්‍රෝපකරණ පාවිච්චි කරන්න අමාරුයි. මේ ඔක්කොම කරන්න අමාරු වෙන්නේ තමන්ට මේ ඉහළ මිල ගණන් දරාගන්න අමාරු නිසයි.
එහෙමනම් අපි කියන්නේ, ඔබතුමා ඒ කාලේ කිව්වා වගේ... අපි නෙවෙයි, ඔබතුමායි ඒ කාලේ කිව්වේ ගරු ජනාධිපතිතුමා, තෙල් මිල වැඩි වෙන්න හේතුව තමයි අසීමිත බද්දක් ගහන එක කියලා.
ඉතින් අපි කියන්නේ, ලෝකේ අර්බුදයක් තියෙනවා කියලා ඕනෑම කෙනෙක් දන්නවා. ඒක අපි නැහැ කියන්නේ නැහැ. හැබැයි ඒ අර්බුදය තියෙනවා කියලා දැන දැනත් අපි තෙල් රඳවා ගැනීමට නිසි වැඩපිළිවෙළක් පවත්වාගෙන ගියේ නැහැ. ඒක නිසයි අද වෙනකොට අපි මේ විදිහට අමාරුවේ වැටිලා තියෙන්නේ.
ඒ වගේම තමයි ඒ ගැන ඇහුවාම පම්පෝරි ගහන ඇමතිවරු ඉන්නවා. මේ පම්පෝරි ගහන ඇමතිවරු මොනවද කිව්වේ? "අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි, අපි තෙල් ගේන්නේ සිංගප්පූරුව, ඉන්දියාව වගේ රටවල්වලින්" කියලා ඒ හරහා ඔවුන් කිව්වා.
"ඒක නිසා අපිට ඔය සමුද්‍ර සන්ධිය වැහුවට ප්‍රශ්නයක් නැහැ", "ඉරානේ ගහගත්තට ප්‍රශ්නයක් නැහැ" වගේ කතාවක් තමයි ඔවුන් කිව්වේ. හැබැයි දැන් ඒක ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
ඒක නිසා ඉස්සර එකක් කිව්වා, දැන් තව එකක් කියනවා.
අපි දන්නවා 2021-22 වෙනකොට දැවැන්ත විදිහට ආර්ථිකය කඩාගෙන වැටිලා තෙල් මිල ඉහළ ගියා.
අපි දන්නවා ඒ වෙලාවේ ඒ තත්ත්වය පාවිච්චි කරලා මාලිමාව සහ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව වට්ටන්න මොන තරම් වැඩපිළිවෙළක් ගෙනිච්චාද කියලා.
හැබැයි අද මිනිස්සු එහෙම නැහැ. අද මිනිස්සු පාඩුවේ තෙල් පෝලිම්වල ඉන්නවා. මිනිස්සු දන්නවා ලෝකේ අර්බුදයක් තියෙනවා කියලා. හැබැයි මේ අර්බුදයට පිළියම තෙල් මිල වැඩි කිරීම පමණක්ම නෙවෙයි.
එහෙමනම් ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා ඒ කාලේ කිව්වා වගේ අසීමිතව බදු ගහන එක නතර කරලා, ඒකේ වාසිය මේ අහිංසක මිනිස්සුන්ට දෙන්න.
තෙල් මිල වැඩි වෙනවා කියන්නේ හැමදේම මිල වැඩි වෙනවා කියන එකයි.
එහෙම වුණාම මාළු මිල වැඩි වෙනවා, බේකරි කෑම මිල වැඩි වෙනවා, ත්‍රීවීල් ගාස්තු වැඩි වෙනවා, වාහන කුලියට යන ඒවායේ මිල වැඩි වෙනවා. කෘෂිකර්මාන්තයට අවශ්‍ය දේවල්වල ඉඳලා, ඒ හාල් සේරුවේ, හාල් හුණ්ඩුවේ ඉඳලා සියලු දේවල මිල වැඩි වෙනවා කියලා අපි දන්නවා.
ඒක නිසා කරුණාකරලා අර ඒ කාලේ කිව්වා වගේ තෙල්වලට ගහන අසීමිත බද්ද අයින් කරලා, ඒකේ වාසිය මිනිස්සුන්ට දීලා මේ මිල පහත දාන්න කටයුතු කරන්න කියලා තමයි අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ.
මොකද මේ බදු ක්‍රමය නිසා තමයි මිනිස්සු මේ විදිහට අමාරුවේ වැටිලා තියෙන්නේ.
අනිත් එක, ඔබතුමාලා ඒ කාලේ කිව්වා මේ විදිහට තෙල් මිල වැඩි කරන්න, බඩු මිල වැඩි කරන්න නම් ආණ්ඩුවක් ඕනේ නැහැ කියලා.
ඇත්තටම අපිට දැන් කියන්න තියෙන්නෙත් ඒකමයි. එහෙම නැත්නම් ඔබතුමාලා කියපු දේවල්වල රෙකෝඩින් එකක් තියෙනවා නම් උදේ හවා දාලා අහගන්න, "මේ වගේ දේකට ආණ්ඩුවක් ඕනේ නැහැ" කියලා.
තෙල් මිල වැඩි කරන්න, මිනිස්සුන්ට බදු ගහන්න නම් ආණ්ඩුවක් ඕනේ නැහැ කියලා එදා කිව්වා. ඒ වගේම තමයි, පාසල් ළමුන්ගේ උපකරණ සේරම බද්දෙන් නිදහස් කරනවා කිව්වා. හැබැයි අද වෙනකන් කිසිම දෙයක් බද්දෙන් නිදහස් කරලා නැහැ.
මොනවද බද්දෙන් නිදහස් කරලා තියෙන්නේ?
ඒක නිසා මේ අහිංසක මිනිස්සු මරාගෙන කන වැඩේ නතර කරලා, තෙල්වලට ගහන බදු අයින් කරලා, මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනෑ. මේ වෙලාවේ ලෝකේ අර්බුදයක් තියෙනවා කියලා අපි දන්නවා, ඒ ගැන ප්‍රශ්නයකුත් තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්නේ තියෙද්දිත් පම්පෝරි ගහපු එකයි මෙතැන තියෙන ලොකුම ප්‍රශ්නය. ඒක නිසා පම්පෝරි ගහන එක නතර කරලා මිනිස්සුන්ට සහනයක් දෙන්න උත්සාහ කරන්න ඕනෑ.
දැන් බලන්නකෝ, හදිස්සියේවත් අපි ගිහින් ඇමතිවරයෙක්ගෙන් තෙල් පෝලිම් ගැන ප්‍රශ්නයක් ඇහුවොත්, මෙන්න මේ හිරු එකයි, දෙරණයි නාලිකා දෙකේ ලෝගෝ එක පෙන්නලා "මෙන්න මේ දෙකට තමයි ප්‍රශ්න වැඩි" කියලා කියනවා.
මේ නාලිකා දෙක ඇත්ත කියන හින්දා තමයි එහෙම වෙන්නේ. එහෙම නැතුව මේ දෙකට ප්‍රශ්න වැඩි කමක් නැහැ. ඔය මහත්තුරු පාරට ගිහිල්ලා බලන්න ඕනෑ. ඕගොල්ලන්ට ඔය හොරණෑ වගේ පිඹින අයගෙන් ඇහුවට ඇත්ත කියන්නේ නැහැ.
ඒගොල්ලෝ ඇත්ත කියන්නේ නැහැ කියන එක තමයි ඇත්ත. රෙදි හෝදන ඩෝබිලා කියන්නෙත් ඒකයි. ඒ අයට තෙල් ගෑවුණු රෙදි හෝදන්න බැහැ, තෙල් හෙදුවොත් ඒවා භූගත ජලයට එකතු වෙනවා.
ඒක නිසා මාධ්‍ය ආයතනයකින් ඇත්ත කියනකොට ඒක ඉවසා දරාගන්නත් බැහැ. මිනිස්සු ඇත්ත කියනකොට ඒක ඉවසා දරාගන්නත් බැහැ. ඊට පස්සේ ඒ අයට මඩ ගහන්න පටන් ගන්නවා. මඩ බලකායවල් දාලා ඒක කරනවා. හැබැයි ඒ අස්සේ තමන්ගේ කාර්යය හරියට කරන්නේ නැහැ.
ඒක නිසා කරුණාකරලා අපි කියන්නේ, මේ බද්ද අයින් කරලා ඒ බද්දෙන් ලැබෙන සහනය මිනිස්සුන්ට දෙන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ.
මේ වෙලාවේ මට කවියක් මතක් වුණා, ඒකත් කියලා ඉන්න ඕනෑ.
හුන්ඩුවේ අපි එකතුවෙලා රිලව් ගෙන්නුවා මතකද? හුන්ඩුවේ චේතිය කුමරු රජෙක් කළා මතකද? හුන්ඩුවේ පුනරුදයට අපිට ඡන්දේ දුන්නා මතකද? හුන්ඩුවේ තෙල් ගණන් ගියා, වතුරෙන් හරි දුවමුද?
ඒක නිසා වතුරෙන් තමයි ඉස්සරහට වාහන දුවන්න වෙන්නේ. මේගොල්ලෝ මෙහෙම පම්පෝරි ගහගෙන, ලොකුකම් කිය කියා හිටියොත් මේ ආණ්ඩුව ඉතා ඉක්මනින් වැටෙනවා පමණක් නෙවෙයි, මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාවත් පනිනවා. මොකද, ඊයේ රාත්‍රියේ මිනිස්සු නිදාගත්තේ හෙට උදේ තෙල් පෝලිමට යන්න ඕනෑ කියලා හිතාගෙන. හැබැයි ඒ යනකොට තෙල් මිල තවත් රුපියල් 100කින් විතර වැඩි වෙලා තියෙනකොට මිනිස්සුන්ට දැනෙන වේදනාව කොහොමද කියලා, පාරට බැහැලා ඒ මිනිස්සුන්ගෙන්ම අහලා බලන්න. ඒක නිසා ඕගොල්ලෝ ඉස්සර කිව්වා සීත කාමරවල ඉඳලා තීන්දු ගන්න එපා කියලා. හැබැයි අපි දැන් කියනවා, ඕගොල්ලොත් ඒ කාමරවල ඉඳන් තීන්දු ගන්නේ නැතුව, පාරට බැහැලා ඇත්ත තත්ත්වය බලන්න කියලා."

