මින් ඉදිරියට දිවයින පුරා පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන නිකුත් කිරීම ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර් (QR) කේත ක්‍රමවේදයට පමණක් සීමා කරන බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසියේ පූර්ණ මැදිහත්වීම ලබාගන්නා බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එම සංස්ථාවේ සභාපති ඩී.
ජේ. රාජකරුණා මහතා අද (15) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව නිල වශයෙන් නිවේදනය කළේය.ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන ඇණවුම් මේ වන විට කිසිදු බාධාවකින් තොරව ලැබෙමින් පවතින බැවින් ලබන මාසයේ අවසානය දක්වා රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව සභාපතිවරයා එහිදී අවධාරණය කළේය. අද දිනයේ සිට මෙම නව ක්‍රමවේදය දැඩිව ක්‍රියාත්මක කරන අතර, සෑම පාරිභෝගිකයෙකුටම සතියකට හිමිවන ඉන්ධන කෝටාව ඊට අදාළ පිරවුම්හල් තුළ නිෂ්චිතව වෙන්කර තබා ඇති බැවින් දවසේ ඕනෑම වේලාවක ගොස් එය ලබාගැනීමේ පහසුකම මේ වනවිට සලසා දී තිබේ. ඒ අනුව මින් මතු පාරිභෝගිකයින් ඉන්ධන ලබාගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටීම කිසිසේත්ම අවශ්‍ය නොවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
අද පෙරවරුවේ පිරවුම්හල් ආශ්‍රිතව සහ වෙබ් අඩවියේ මතු වූ යම් යම් තාක්ෂණික දෝෂ මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇති අතර, ඒ අනුව දිවයිනේ ඕනෑම පිරවුම්හලකින් කේතය පරීක්ෂා කර ඉන්ධන නිකුත් කිරීමේ හැකියාව පවතී. කිව්.ආර් ක්‍රමවේදයෙන් පරිබාහිරව ඉන්ධන ලබාගැනීමට කිසිදු පුද්ගලයෙකුට අවශ්‍යතාවක් මතු නොවන අතර, අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී සිටිමින් ඉන්ධන ලබාගැනීමට උත්සාහ කරන පුද්ගලයින්ට පොලීසියේ මැදිහත්වීම මත මින් ඉදිරියට එම අවස්ථාව අහිමි වී යනු ඇත.
මීට අමතරව ඉන්ධන පිරවුම්හල් හිමියන් සම්බන්ධයෙන්ද දැඩි විමසිල්ලෙන් පසුවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. පිරවුම්හල් වෙත නිකුත් කරන ලද ඉන්ධන තොග ප්‍රමාණය සහ කිව්.ආර් කේතය හරහා අලෙවි කර ඇති ප්‍රමාණයන් අතර යම් නොගැලපීමක් හෝ අක්‍රමිකතාවක් නිරීක්ෂණය වුවහොත්, අදාළ පිරවුම්හල් හිමියන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවත්, එහිදී ඔවුන්ගේ අලෙවි නියෝජිත බලපත්‍රය පවා සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කටයුතු කරන බවත් බලධාරීන් අනතුරු අඟවයි.
මේ අතර මගී ප්‍රවාහන බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීම පෙර පරිදිම ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා සිදුකිරීමට පියවර ගෙන ඇත. එම බස් රථ ධාවනය කරන දුර ප්‍රමාණය සහ ගමන් මාර්ගය නිසි ලෙස ගණනය කර ඊට සරිලන පරිදි ඉදිරි කෙටි කාලය තුළදී ඔවුන්ගේ ඉන්ධන කෝටාව සංශෝධනය කිරීමටද නියමිතව තිබේ. ඊට සමගාමීව ධීවර කර්මාන්තය සහ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන තොගද කිසිදු බාධාවකින් තොරව ක්‍රමවත් ලෙස සපයා දීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.