මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ බාල සහෝදරයා රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර ඊයේ (15) උදෑසන පාදෙණිය - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මහගල්කඩවල ප්‍රදේශයේදී සිදුව ඇති බව ගල්ගමුව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර, මහ ඉලුප්පල්ලම ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පියසේන දිසානායක නැමැති මහතෙකි. ඒ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කර විශ්‍රාම ලැබූ සැරයන්වරයෙකු බවද සඳහන් වේ.
පොලිස් තොරතුරු වලට අනුව, පියසේන මහතා ගල්ගමුව ප්‍රදේශයේ පිහිටි සිය වෙනත් සහෝදරයෙකුගේ නිවසක පැවති උත්සවයකට සහභාගී වීම සඳහා පෙරදින එහි පැමිණ ඇත. අමාත්‍යවරයාද එම අවස්ථාවට එක්ව සිටි බව වාර්තා වේ. උත්සවය අවසන් වීමෙන් පසු ඊයේ උදෑසන ඔහු යතුරුපැදියෙන් යළිත් සිය නිවස බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
ඔහු ගමන් කළ යතුරුපැදිය මහගල්කඩවල ප්‍රදේශයේ මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියක පිටුපස ගැටී ඇත. අනතුර සිදුවූ ස්ථානය වංගුවක් සහිත ප්‍රදේශයක් වන අතර, ලොරියේ ගැටීමත් සමඟම ඔහු විසිවී ගොස් මාර්ග ආරක්ෂාව වෙනුවෙන් ඉදිකර තිබූ යකඩ වැටක ද හැපී ඇති බව පොලිස් නිලධාරීන් පවසයි.
අනතුර හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පියසේන මහතා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත. ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සහ හදිසි මරණ පරීක්ෂණය ඊයේ දිනයේදී ගල්ගමුව රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබුණි.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත ගල්ගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම රිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.