while-completing-sri-pada-vandana-a-car-fell-into-a-15-feet-cliff

ශ්‍රී පාද වන්දනාව නිමවා නල්ලතන්නියේ සිට නුවරඑළිය බලා ගමන් කරමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි පහළොවක පමණ ප්‍රපාතයකින් පහළ පිහිටි වෙනත් මාර්ගයකට පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ. මෙම අනතුර හේතුවෙන් රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව නෝර්වුඩ් පොලිසිය තහවුරු කරයි.




හැටන් මස්කෙළිය ශ්‍රී පාද මාර්ගයේ නෝර්වුඩ්, රෝක්වුඩ් ප්‍රදේශයේදී පස්වරු 4:30 ට පමණ මෙම රිය අනතුර වාර්තා වී ඇත. පොලිසිය සඳහන් කරන ආකාරයට, රියදුරුට හදිසියේ නින්ද යාම හේතුවෙන් රථය පාලනය කරගැනීමට නොහැකි වී ඇති අතර, ඉන් අනතුරුව එය ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන රෝක්වුඩ් වතුයාය වෙත දිවෙන පහළ මාර්ගයට මෙලෙස පෙරළී ගොස් ඇත.

අනතුර සිදුවන අවස්ථාව වන විට මෝටර් රථය තුළ පුද්ගලයින් සිව්දෙනෙකු ගමන් කරමින් සිට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. කෙසේ වෙතත්, ඉන් තුවාල ලබා ඇත්තේ එක් කාන්තාවක් සහ තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු පමණක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසිය විසින් මේ වන විට වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.