a-set-of-new-guidelines-from-the-government-to-conserve-electricity

රට තුළ ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ අරමුණින් විදුලිය හා බලශක්ති සංරක්ෂණය සඳහා වන නව මාර්ගෝපදේශ මාලාවක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 2026 මාර්තු 30 වන දිනැතිව, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ඩී.කේ.

ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිල නිවේදනය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇත.




මෙම නව උපදෙස්වලට අනුව, සියලුම රජයේ ආයතන සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල භාවිත කරන වායු සමීකරණ යන්ත්‍ර පස්වරු 3.00 වන විට අනිවාර්යයෙන්ම ක්‍රියා විරහිත කිරීමට පියවර ගත යුතු වේ. පවතින තත්ත්වය හමුවේ බලශක්තිය සුරැකීමට සහාය වීමක් ලෙස, පෞද්ගලික අංශයේ ආයතනවලින් ද මෙම පියවරම අනුගමනය කරන ලෙස රජය විසින් කාරුණික ඉල්ලීමක් සිදු කර තිබේ.

එමෙන්ම, අනවශ්‍ය ලෙස විදුලිය වැය වීම අවම කිරීම සඳහා රාත්‍රී කාලයේ ක්‍රියාත්මක වන ප්‍රචාරණ කටයුතු සහ වීදි ආලෝකකරණය සම්බන්ධයෙන් ද සීමා පනවා ඇත. ඒ යටතේ විවිධ ස්ථානවල වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා සවිකර ඇති විදුලි ආලෝක පුවරු සහ විද්‍යුත් තිර රාත්‍රී 8.00න් පසුව සම්පූර්ණයෙන්ම නිවා දැමිය යුතු බවට නියෝග කර තිබේ. තවද, පළාත් පාලන ආයතන යටතේ පාලනය වන වීදි ලාම්පු පස්වරු 6.00ත් රාත්‍රී 10.00ත් අතර කාලසීමාව තුළ නිවා දැමීමට අවශ්‍ය විශේෂ වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසට ද අදාළ ආයතනවලට උපදෙස් ලබා දී ඇත.




මීට අමතරව, විශාල ජනකායක් සහභාගී වන උත්සව සඳහා ද ජාතික විදුලිබල පද්ධතිය භාවිත කිරීම සීමා කර තිබේ. පුද්ගලයන් සියයකට (100) වඩා වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් මහා පරිමාණයෙන් පවත්වනු ලබන ඕනෑම ආකාරයක උත්සවයක් හෝ සංගීත සංදර්ශනයක් වේ නම්, ඒවා ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබා ගැනීමකින් තොරව පැවැත්වීමට සංවිධායකයින් කටයුතු කළ යුතු බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.