two-ships-arrived-today-and-we-have-gas-until-the-end-of-april

අඛණ්ඩව දේශීය ගෑස් සැපයුම තහවුරු කරමින් ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් නෞකා දෙකක් අද (18) උදෑසන උස්වැටකෙයියාව තල්දියවත්ත ගෑස් ගොඩබාන බෝයාව වෙත සේන්දු වූ අතර මේ වනවිටත් එහි ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබේ. මීට සමගාමීව තවත් ඉන්ධන නෞකාවක් ද අද උදෑසන දිවයිනට පැමිණ ඇති බව බලධාරීහු තහවුරු කරති.




මේ සම්බන්ධයෙන් ඊයේ (17) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ලාෆ්ස් ගෑස් සමාගමේ පවතින හිඟය ද සැලකිල්ලට ගනිමින්, සාමාන්‍යයෙන් මාර්තු මාසය සඳහා අවශ්‍ය වන මෙට්‍රික් ටොන් 33,000ක ප්‍රමාණය වෙනුවට මෙට්‍රික් ටොන් 38,000ක ගෑස් තොගයක් මේ මාසය සඳහා ඇණවුම් කර ඇති බවයි. ඉන් මෙට්‍රික් ටොන් 24,500ක පමණ ප්‍රමාණයක් මේ වනවිටත් රටට ලැබී ඇති අතර, ඉදිරි දින දෙක ඇතුළත තවත් මෙට්‍රික් ටොන් 33,000ක ගෑස් තොගයක් දිවයිනට ලැබීමට නියමිත බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

මීට පෙර ඕමාන් සමාගමක් හරහා ගල්ෆ් කලාපය ඔස්සේ ශ්‍රී ලංකාවට ගෑස් සැපයීම සිදුකළ ද මෙවර එම තත්ත්වයේ සුවිශේෂී උපායමාර්ගික වෙනසක් සිදු කර තිබේ. 2026 වසර සඳහා ගෑස් ආනයනය කිරීමේ ටෙන්ඩරය දිනාගත් ස්විට්සර්ලන්තයේ 'ජියෝගෑස්' (Geogas) සමාගම මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර අප්‍රිකාවෙන් ගෑස් සපයා ගනිමින් සිටියි. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි බාධා මඟහරවා ගැනීම සඳහා නව සැපයුම්කරුවන් ගල්ෆ් කලාපය මඟහැර අප්‍රිකානු මහාද්වීපයට පහළින් මාලදිවයින දෙසට නෞකා ගමන් කරවන බවයි. මෙම විකල්ප සැපයුම් මාර්ගය හේතුවෙන් රට තුළ ගෑස් හිඟයක් ඇතිවීමේ අවදානම මේ වනවිට ඉතාම අවම මට්ටමක පවතින බවද හෙතෙම අවධාරණය කළේය.




ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වැඩිදුරටත් තහවුරු කරන්නේ අප්‍රේල් මස අවසානය දක්වා දේශීය ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ගෑස් තොග මාලදිවයිනේ ගබඩා කර ඇති බවයි. මේ යටතේ සෑම දින තුනකට වරක්ම ගෑස් නෞකාවක් දිවයිනට පැමිණෙන අතර, ඇමරිකා එක්සත් ජනපදයේ සිට ගෑස් මෙට්‍රික් ටොන් 88,000ක් රැගත් නෞකාවක් හෙට දිනයේදී මාලදිවයිනට ළඟාවීමට නියමිතව තිබේ. මීට අමතරව 'බෝර්ඩා' (Borda) නමැති තවත් මව් නෞකාවක් ද මාලදිවයිනට ළඟාවෙමින් පවතින අතර, ආර්ජන්ටිනාවේ සිට තවත් මව් නෞකාවක් අප්‍රිකානු මහද්වීපය හරහා ගමන් ආරම්භ කර ඇත. ඉතිරි ගෑස් තොග මාර්තු 21, 23 සහ 25 යන දිනවලදී මෙන්ම අප්‍රේල් 20 වනදා ද ලැබීමට නියමිත බැවින්, කිසිදු හිඟයකින් තොරව පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සමාගම් නිලධාරීහු පවසති.