chinese-myanmar-taiwan-who-smuggled-computers-into-5-hotels-in-anuradhapure-capture-the-set-of-134

නීත්‍යානුකූල වීසා බලපත්‍ර නොමැතිව දිවයිනේ රැඳී සිටිමින් අනුරාධපුර සහ මිහින්තලේ ප්‍රදේශවල සුඛෝපභෝගී හෝටල් පහක ලැගුම් ගෙන සිටි විදේශිකයන් 134 දෙනෙකු ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පසුගිය 16 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත් වූ පිරිස අතරට චීන ජාතිකයින් 124 දෙනෙකු, මියන්මාර ජාතිකයින් 6 දෙනෙකු සහ තායිවාන ජාතිකයින් 4 දෙනෙකු අයත් වන අතර මෙම කණ්ඩායමට කාන්තාවන් ද ඇතුළත් වී ඇත.




රාජ්‍ය බුද්ධි අංශය වෙත ලැබුණු විශේෂ තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර, අදාළ පිරිස අනුරාධපුර නගර සීමාවේ හෝටල් හතරක සහ මිහින්තලේ නගරයේ එක් හෝටලයක මාස කිහිපයක සිට මෙලෙස නීතිවිරෝධීව රැඳී සිට ඇති බව අනාවරණය වී තිබේ. අදාළ හෝටල් හිමිකරුවන් විසින් බාහිර පුද්ගලයින්ට එම පරිශ්‍රයන් වෙත ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබී ඇති බවත්, මෙම විදේශිකයන් පමණක් එම පරිශ්‍රයන් තුළ පරිගණක භාවිතා කරමින් යම් කටයුත්තක නිරත වී ඇති බවත් බුද්ධි අංශ මගින් සොයාගෙන ඇත.

ඔවුන්ගේ මෙම සැකකටයුතු හැසිරීම් රටාව අනුව, මෙම සංවිධානාත්මක පිරිස යම් නීති විරෝධී මූල්‍ය ජාවාරමක් මෙහෙයවමින් සිටින්නට ඇති බවට බුද්ධි අංශ විසින් දැඩි ලෙස සැක පළ කරනු ලබයි. වැටලීම සිදු කළ අවස්ථාවේදී ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා යොදාගත් මෝටර් රථ තුනක් ද නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, ඉන් එක් රථයක් හලාවත ප්‍රදේශයේ ලිපිනයකට ලියාපදිංචි කර ඇති බවට ද තොරතුරු හෙළි වී තිබේ.




අත්අඩංගුවට පත් වූ සමස්ත විදේශිකයන් පිරිස බස් රථ දෙකක් යොදාගනිමින් කොළඹ වෙත රැගෙන ඒමට බලධාරීන් පියවර ගෙන ඇත. සිද්ධියට අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සහ වැඩිදුර විමර්ශන කටයුතු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් සිදු කරමින් පවතී.

chinese-myanmar-taiwan-who-smuggled-computers-into-5-hotels-in-anuradhapure-capture-the-set-of-134