පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයාගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී, එහි වගඋත්තරකරුවකු වන කතානායකවරයා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.
කතානායකවරයා වෙනුවෙන් පෙනී සිටීමට නීතිපතිවරයාගේ නියෝජනයක් නොමැති බැවින්, වෙනත් නීතිඥවරයෙකු මාර්ගයෙන් අදාළ කරුණු දක්වන ලෙස කතානායකවරයාට දැනුම් දීම සඳහා නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කර තිබේ. ඒ අනුව අදාළ නොතීසි යොමු කිරීම සඳහා පෙත්සම්කරුට අවශ්‍ය කාලය ලබා දීමට ද අධිකරණය පියවර ගෙන ඇත.
තම සේවය අත්හිටුවීමට ගෙන ඇති තීරණය තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් නියෝජ්‍ය මහලේකම්වරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් නම් කර ඇත.
අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, මෙම පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය ලබන මැයි මස 20 වැනිදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින නියම කරනු ලැබීය.
