
ඊයේ (21) ක්‍රියාත්මක වූ දැවැන්ත ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවීම හේතුවෙන් අද (22) දිනයේදී මෙරට පෞද්ගලික බස් රථවලින් සියයට 90ක පමණ ප්‍රමාණයක් ධාවන කටයුතුවලින් ඉවත් වී ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ ඊයේ සිදුවූ ඉන්ධන මිල වැඩිවීම මෙරට ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ප්‍රතිශතයේ මිල ඉහළ දැමීම බවයි. මෙම නව ඉන්ධන මිල ගණන් සහ අධික පිරිවැය හමුවේ දැනට පවතින පැරණි ප්‍රවේශපත්‍ර ගාස්තු යටතේ මගී ප්‍රවාහනයේ නිරත වීමෙන් බස් කර්මාන්තයට දැඩි පාඩුවක් සිදුවන බව බස් රථ හිමියන් විසින් සංගමය වෙත පෙන්වා දී තිබේ.
මෙම අර්බුදකාරී තත්ත්වය මත අද දිනයේදී සිය බස් රථ ධාවනයට එක් නොකරන බව හිමිකරුවන් විසින් තමන් වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව සභාපතිවරයා සඳහන් කළේය. ඒ අනුව, ඉහළ ගිය ඉන්ධන මිලට සරිලන පරිදි කඩිනම් නව බස් ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක කරන්නේ නම් පමණක් යළිත් බස් රථ ධාවනයට එක් කිරීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

