our-days-that-come-to-mind-because-of-the-malgudi-days

ජාතික හා ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ ඉන්දීය සාහිත්‍යවේදියෙකු වූ ආර් .කේ .නාරයන්ගේ(1906-2001) Malgudi Days කෙටිකතා සංග්‍රහය, ප්‍රවීණ පරිවර්තකයෙකු වන රෝහණ වෙත්තසිංහ විසින් මල්ගුඩි දවස් මැයෙන් සිංහලට පරිවර්තනය වීම සාහිත්‍යලෝලීන් අමන්දානන්දයට පත්කරන සිදුවීමකි.එසේ වන්නේ ,එය මුල් කෘතිය පළ වී දශක අටකට පසුව වුව තවමත් අපට එයින් නැවුම් ආස්වාදයක් ලබා දෙන හෙයිනි .ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ ඉන්දීය ලේඛකයන් අතර නාරායන් විශේෂයෙන් කැපී පෙනුනේ ,ඔහු තම කෘති මගින් සැබෑ ඉන්දීය ජන ජීවිතය නිරුපණය කළ ,රසවත් ලෙස භාෂාව හැසිර වූ සාහිත්‍යකරුවෙකු වූ නිසා පමණක් නොවේ .ඔහුගේ සාහිත්‍ය ලෝකයේ අත්දැකීම් තුන්වන ලෝකයේ අපට ද හොඳින් දැනෙන හා ඒ ඔස්සේ අපට සිතන්නට පොළඹවන ශක්තියක් ඒවායේ අන්තර්ගත බැවිනි .නිදසුන් ලෙස මල්ගුඩි දවස් කියවන අපට සිහියට එන්නේ ගෙවී යන අපේ දවස් ගැන ය.නාරායන් දුටු ශීග්‍රයෙන් විපරිණාමයට පත්වන දකුණු ඉන්දීය සමාජය හා අපේ සමාජය අතර ලොකු වෙනසක් නැති බැවිනි .අනෙක් අතට නාරයන්ගේ සාහිත්‍යමය කුසලතා මගින් ඔහු නිර්මාණය කරන ලෝකය අප බැඳ තබා ගන්නා අපූර්වත්වයකින් ඔහු විසින් නිර්මාණය කර ඇති බැවිනි .

කෙටි කතා 16කින් සමන්විත මල්ගුඩි දවස් අපට බෙහෙවින් සමීප වන්නේ එම අත්දැකීම්වල පොදුබව නිසා පමණක් නොව විවිධ මාධ්‍යවලින් නාරායන් මැවූ ලෝකය අපට දැනටමත් සමීපව ඇති නිසා ය. නාරායන්ගේ කතා බොහෝ විට සිනමා හා රුපවාහිනී මාධ්‍යවලින් ද ,ඇතැම් කෘති මුද්‍රිත මාධ්‍යයෙන් ද මිට පෙර පළවී ඇති බව සත්‍ය ය.එහෙත් නාරායන් තව දුරටත් අපට හැදෑරීම ,ආස්වාදය කිරීමට බොහෝ දෑ ඉතිරි කර ඇති බව මල්ගුඩි දවස් කියවන රසිකයෙකුට හැඟී යනු ඇත .නාරයන්ගේ කෙටිකතා අධ්‍යයනය කළ විචාරකයන් , ඔහු රුසියනු ලේඛක ගොගොල්ගේ හා චෙකොව්ගේ ද ඇමරිකන් ලේඛක විලියම් ෆෝක්නර්ගේ ද නිර්මාණ සමග ද සැසඳීමට උත්සුක වූ බව අපි දනිමු.ලොව කවර රටක වුව විශිෂ්ට සාහිත්‍යකරුවන් අතර සමාන ලක්ෂණ ඇති වන්නේ එක්කෝ ඔවුන් ලබා ඇති අත්දැකීම් සමානවිම නිසා ය. නැත්නම් එකිනෙකාගේ කලාත්මක ශිල්ප ක්‍රමවල සමානත්වය නිසා ය.මේ දෙකම වන්නට ද පිළිවන .යටත්විජිත සමයේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයක් ලැබූ නාරායන් හොඳින් විශ්ව සාහිත්‍යය කියවූ අයෙකු බව නිසැක ය.එහෙත් ඔහු එමගින් යම් ආභාසයක් ලැබුවත් නාරායන් නිසැකවම තම අනන්‍යතාව ප්‍රකට කළ කෙටිකතකරුවෙකු බව මල්ගුඩි දවස් කෙටිකතා සංග්‍රහයම නිදසුන් සපයයි .මල්ගුඩිය නාරයන්ගේ මනසේ ඇති වූ පරිකල්පිත ගමක් වුවත් එය සැබෑ දකුණු ඉන්දීය ගමකින් වෙනස් වූවක් නොවන බව පාඨකයාට සිතෙන්නේ එය එතරම් තාත්විකව ඔහු විසින් නිරුපණය කර ඇති නිසා ය.එහි හමුවන ජනයා ඉන්දියාවට පමණක් නොව අපේ රට ද ,තුන්වන ලෝකයේ වෙනත් ඕනෑම රටකට ද පොදු ය.ඒ නිසා එම අත්දැකීම් සාධාරණිකරණය වන්නේ නිතැතිනි .එය නාරායන්ගේ නිර්මාණ ශක්තියයි .ඒ රසය ඊට නොදෙවෙනි වන ලෙස සිංහල පාඨකයා වෙත ගෙන ඒමට රෝහණ වෙත්තසිංහ දක්වා ඇති සමත්කම ප්‍රශංසාත්මක ය.

මෝපසාන් ඇතුළු මුල් යුගයේ කෙටිකතා රචකයන් ලෙස නාරායන් ද පාඨකයා බැඳ තබා ගන්නා කතාවක් තම කෙටිකතා මගින් ගෙනහැර පායි .කතා අවසන් වනතුරු කුතුහලය පවත්වා ගන්නා ඔහු සමහර විට පාඨකයා අපේක්ෂා නොකරන පරිදි කතාව අවසන් කරයි .දෛවඥයාගේ දවස කෙටි කතාවේ පාඨකයා අපේක්ෂා කරන්නේ ,
අමුත්තා විසින් දෛවඥයා අමාරුවේ දමනු ඇති බව ය .එහෙත් ඔහු හරියටම ශාස්ත්‍රය කියයි .අවසන පාඨකයා කිසිසේත් අපේක්ෂා නොකළ දෙයක් දැනගනී .අමුත්තා ඝාතනය කිරීමට මාන බැලුවේ දැන් වෙස් මාරු කර ගෙන සිටින දෛවඥයා ය.මේ එළිදරව්ව ඔස්සේ ඔහු බරකින් නිදහස් වේ '...පහුගිය කලේ තිස්සෙම මං හිතාගෙන හිටියෙ මිනිහෙකුගේ ලේ මගේ අතේ තැවරිලා තියෙනවා කියල ....'
(20 පි .)
නොසිතා කළ වැරද්දකින් නිදහස්වීම ගැන දෛවඥයා සතුටු වන්නේ ,ඔහු ද අහිංසකයෙකු නිසා ය.

පොදුවේ ගත්විට නාරයන්ගේ හැම කතාවකින්ම පළවන්නේ ඔහු දැරූ මානවවාදී දෘෂ්ටියයි .මඟහැරුණු තැපෑල කෙටිකතාවේ ලියුම් බෙදන්නා අතින් වරදක් වුවත් රාමනුජාම් අවසානයේ කියන්නේ , 'නුඹ මේ දේ කරපු එක ගැන තියෙන්නෙ කණගාටුවක් විතරයි ' කියා ය . බොහෝ කතා සරල ආඛ්‍යාන ලෙස පෙනී ගියත් ඒ ඇසුරින් මානව චර්යාවන්ගේ සංකීර්ණ ස්වභාවය විදහා පාන මනෝවිද්‍යාත්මක පදනම අඟවන කෙටිකතා ද මෙහි දී අපට අමු වේ . දොස්තරගේ නියමය ‚ ගේට්ටු මුරකරන්නගේ තෑග්ග ‚ අන්ධ බල්ලා ‚නාග ගීතය එයින් කිහිපයකි.ජනශ්‍රැති ගැන ද උනන්දුවක් දැක්වූ නරයන් එම විෂය අළලා ද පොත් පත් ලිව්වා පමණක් නොව ඇතැම් කෙටිකතා සඳහා ද ඒවයෙන් අභාසය ලැබී ය.කොටි නිය, ප්‍රතිමාවේ ප්‍රාතිහාර්ය,ඇටිලාගේ වික්‍රමය



,පොරොව පහර ඊට නිදසුන් වන කෙටිකථා ය.මේ කතාවල සාමාන්‍ය ජනකතා ආකෘතිය දක්නට ලැබුණත් කතාවලින් මතු කරන සෞන්දර්ය ඉතා පුළුල් ය. මතුපිට කතාව ඉක්මවන සුළු ය.

මෙහි එන එන්ජින් දෝෂය කිසියම් උපහාස රසයක් මතු කළ සරල කතා පුවතක් දැක්වුවත් එහි ඇති සංකේතාර්ථ ලෝකයටම -විශේෂයෙන් තුන්වන ලෝකයට මනාව ගැලපෙයි .ගමකට සර්කස් කණ්ඩායමක් පැමිණීමත් ,එහි කුසපත් ඇදීමකින් කතානායකයා ගල් රෝලක් දිනීමත් නිසා මතු වූ ගැටලු මේ කතාවට විෂය වේ.ලැබුන තෑග්ග ඉවත් කර ගැනීමට යාමෙන් සිදුවන අලාභය විශාල ය .මෙබඳු තෑගී සාමාන්‍ය මිනිසකුට පමණක් නොව රටකට ද ලැබිය හැක .අපට ලැබෙන විදේශ ආධාර දක්වා මේ කතාව විස්තීරණය කර බලන පාඨකයාට හුදු හාස්‍යය ඉක්ම වූ බිහිසුණු ප්‍රතිවිපාක ගැන සංවේදීතාවක් ඇති කර ගත නොහැකි ද ?වැදගත් වන්නේ කතුවරයා පාඨකයාට සිතන්නට සලසමින් කතාව රසවත්ව දැක්වීම ය.මේ සඳහා එදිනෙදා ජිවිතයේ විත වන සංවාද බහුලව යොදා ගැනීම කතා රසය තීව්ර කිරීමට හේතු වී තිබේ , 

 මේ සියලු කතාවල දැකිය හැකි පොදු ලක්ෂණය ලෙස පෙනෙන්නේ ඒවායේ විද්‍යමාන සැබෑ ඉන්දියානු ස්වභාවයයි .චරිත ,සිද්ධි හා අවස්ථා නිර්මාණය කර ඇත්තේ ඉන්දීය සුවඳ වහනය වන පරිදි ය.ලෝක සාහිත්‍යය ගැන කතුවරයාගේ කියවීම කෙටිකථා තුළින් කෙනෙකුට හඳුනා ගත හැකි වුවත්, ඒ සියල්ල අභිබවා ඉන්දීය සංස්කෘතික පදනම මත සමාජ මානව චර්යාවන් ගොඩනඟා ඇති බව තේරුම් ගැනීමට පිළිවන .එය ව්‍යාජ දේශජත්වයක්හෝ ඊනියා දේශප්‍රේමයක් මතු නොකර , නිරායාසයෙන් මතු වූ ඉන්දීය ස්වභාවයක් බව පෙනෙයි . පාඨකයා ඉන්දියානු ගැමියාගේ මානව හිතවාදයට ගෞරව කරන්නටත් ,ඇතැමුන්ගේ අඥානකම් දෙස බලා මුවගට සිනාවක් නන්ගගන්නටත් පෙළඹීම නාරායන්ගේ ජයග්‍රහණයක් ද ?පාඨකයාගේ ජයග්‍රහණයක් ද යනු ඉඳුරා කිව නොහැකි තත්වයකි .

අන්තර් සංස්කෘතික අවබෝධය පිළිබඳ ලොව පුරා විශේෂ උනන්දුවක් පවතින මෙකල නාරායන්ගේ කෘති සිංහලට නැඟීම අතිශය වැදගත් බව නොකිව මනා ය.ඒ කෘති ඉන්දීය සංස්කෘතියේ විවිධත්වය හා ඒ සියල්ල අභිභවනය කරන ඒකීයත්වයක් ද ද්වනිත් කරන බව අපට හඳුනා ගත හැකි ය.අපේ ජන සාහිත්‍යයට ද අවේනික හාස්‍යය හා උපහාසය හුරු සිංහල පාඨකයාට නාරායන් අමුත්තෙකු නොවන බව මල්ගුඩි දවස් කියවන පාඨකයාට ද තේරුම් යනු ඇත .එම මුල් කෘතියේ රටාව නොබිඳිමින් ,එහෙත් නිවැරදි සරල සිංහලෙන් මේ පොත පර්වර්තනය කිරීම පිළිබඳ රෝහණ වෙත්තසින්හයන්ට සුබ පතමු .

සුගත් වටගෙදර