five-boys-who-were-arrested-during-music-danced-by-police

වාද්දුව පොලිස් ස්ථානයේ සිර මැදිරියක් තුළ රඳවා සිටි දාහත් හැවිරිදි තරුණයකු ඇතුළු පුද්ගලයන් පස් දෙනකු ඊයේ (16) අලුයම දරුණු ලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි. ඔවුහු සිර මැදිරියේ සවි කර තිබූ ජල කරාමයක් කඩා බිඳ දමා එය පිටතට විසි කර ඇති අතර, එහි දොරවල්වලට හා බිත්තිවලට හිසින් පහර දෙමින් පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැණ වදිනු ලැබූහ.




මෙසේ කලහකාරී ලෙස හැසිරී ඇත්තේ, පෙරේදා රාත්‍රියේ වාද්දුව මහජන ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුරදී නොසන්සුන්කාරී ලෙස ක්‍රියා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පිරිසකි. සංගීත සංදර්ශන භූමියේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් කණ්ඩායමක් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රඳවා තැබීමට පියවර ගෙන තිබුණි. සිර මැදිරිය තුළදීද ඔවුන් ජල කරාමය කඩා බිඳ දමා, දොරවල්වලට හා බිත්තිවලට හිස් තබා ගනිමින්, පොලිස් නිලධාරීන්ට අපහාසාත්මක වදන් භාවිත කරමින් කලහකාරී ලෙස හැසිරී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

පොලිස් නිලධාරීන් විසින් මෙම පස් දෙනාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ප්‍රශ්න කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔවුන් මෙලෙස කලහකාරීව හැසිරී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. එමෙන්ම, පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු පරීක්ෂා කිරීම සඳහා එහි පැමිණි සහකාර පොලිස් අධිකාරීවරයකු සිර මැදිරිය තුළින් නැඟුණු කෑගැසීම් පිළිබඳ විමසූ අවස්ථාවේ, එම නිලධාරියාටද මෙම පිරිස අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඇති බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි. මේ සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය විසින් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරටුව සහ කළුතර ප්‍රදේශවල පදිංචි 17, 18, සහ 25 හැවිරිදි තරුණයන් බව වාර්තා වේ.