මේ වන විට දිවයින පුරා ඉන්ධන සම්බන්ධයෙන් දැවැන්ත කළු ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බැවින්, ජාවාරම්කරුවන්ගේ වුවමනාවන්ට වඩා සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා සඳහා මූලිකත්වය ලබා දිය යුතු බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, නීතිඥ සුනිල් වටගල මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය 27 වැනිදා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.
වත්මන් ජාතික ජන බලවේග රජය යටතේ රාජකාරියේ නිරත රාජ්‍ය නිලධාරීන් ඉන්ධන පිරිමැසීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු එහිදී පෙන්වා දුන්නේය. මේ වන විට රාජ්‍ය ආයතන සතුව වාහන 92,000ක් පමණ පවතින බවත්, එක් වාහනයකින් දිනකට ඉන්ධන ලීටරයක් බැගින් ඉතිරි කළහොත් සමස්තයක් ලෙස දිනකට ඉන්ධන ලීටර් 92,000ක් ඉතිරි කර ගත හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට සියලුම රාජ්‍ය ආයතනවල වාහන භාවිතය අවම කළ යුතු බවත්, වාහන දෙකකින් යා යුතු ගමන් සඳහා එක් වාහනයක් පමණක් යොදා ගැනීම වැනි නව ක්‍රමවේද හරහා මෙම ඉතිරිය සිදු කළ හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.
ඉන්ධනහල්වල පොම්පකරුවන්ට රුපියල් 200ක පමණ මුදලක් ලබා දී ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවා ගැනීමේ ව්‍යාපාරයක් මේ වන විට ආරම්භ වී ඇති බවත්, කිසිදු ඉන්ධනහලකින් QR ක්‍රමවේදයෙන් පරිබාහිරව ඉන්ධන නිකුත් නොකළ යුතු බවත් ඔහු තරයේ කියා සිටියේය. QR ක්‍රමයෙන් පිටත ඉන්ධන ලබාදීම ජනතාවට විශාල ගැටලුවක් වනු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
එසේම ඉන්ධනහල් වැසීමෙන් අනතුරුව හොර රහසේ ඉන්ධන අලෙවි කරන ස්ථාන පවතින බවට තොරතුරු ලැබී ඇති බව වටගල මහතා අනාවරණය කළේය. යම් පුද්ගලයින්ගේ නිවාසවල හෝ ව්‍යාපාරික ස්ථානවල නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කර ඇති බවට බුද්ධි අංශ තොරතුරු ලැබුණහොත් වහාම එම ස්ථාන වටලා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසද හෙතෙම නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් මේ වන විටත් පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛ නිකුත් කර ඇති බවත්, ඒ අනුව කටයුතු කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

