colombo-7-investigations-about-land-theft-by-making-the-lady-in-a-house

කොළඹ 07, බාන්ස් පෙදෙසේ පදිංචි අතිශය ධනවත් කාන්තාවකට අඩු ආදායම්ලාභී ගෙවිලියක බවට ව්‍යාජ ලෙස තහවුරු කරමින් ආදායම් සහතිකයක් නිකුත් කළ කුරුඳුවත්ත ප්‍රදේශයේ හිටපු ග්‍රාම නිලධාරීවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.

බෝදරගම මහතා හමුවේ ඊයේ (30) මෙම කරුණු අනාවරණය වූ අතර, අදාළ වංචාව හරහා කිලිනොච්චිය ප්‍රදේශයෙන් රජයේ ගොවි ඉඩම් ලබා ගැනීමට කටයුතු සැලැස්වූ සියලුම රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අල්ලස් කොමිසම එහිදී අවධාරණය කළේය.




අත්අඩංගුවට පත්ව ඇති කුලසේකරගේ නිමල් ජයසිරි නමැති මෙම සැකකාර හිටපු ග්‍රාම නිලධාරීවරයා විසින් අදාළ කාන්තාවගේ මාසික ආදායම රුපියල් දස දහසක් බව දැක්වෙන ලිපියක් නිකුත් කර ඇත. එහෙත් සැබවින්ම ඇය අක්කර පනහක ඉඩමකට, තරු පහේ හෝටලයකට මෙන්ම ගිනිගත්හේන ප්‍රදේශයේ පිහිටි විදුලි බලාගාරයකටද හිමිකම් කියන කෝටිපතිනියක බව අධිකරණයේදී හෙළි විය. මෙම ව්‍යාජ ලේඛනය භාවිත කරමින් 2016 වසරේදී ඇය කිලිනොච්චියේ කුච්චවේලි ප්‍රදේශයෙන් පර්චස් 80 බැගින් වූ ඉඩම් කට්ටි දෙකක් එනම් පර්චස් 160ක ප්‍රමාණයක් රජයෙන් ලබාගෙන ඇති අතර, එය සැබවින්ම දිළිඳු ගොවි ජනතාවට හිමිවිය යුතු ඉඩම් බව අල්ලස් කොමිසම පෙන්වා දුන්නේය.

මෙම අනීතික ක්‍රියාපටිපාටිය හරහා වෙනත් පිරිසකට අයුතු ලාභයක් හිමිකර දෙමින් රජයට රුපියල් 10,625,000ක දැවැන්ත මූල්‍යමය පාඩුවක් සිදුකර ඇති බවට ගණනය කර තිබේ. කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, මෙම ඉඩම් වංචාවට ඍජුවම සම්බන්ධ ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු සෙසු නිලධාරීන්ට මෙන්ම වංචනික ලෙස අදාළ ඉඩම් ලබාගත් එම ධනවත් කාන්තාවටද එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස අල්ලස් කොමිසමට නියෝගයක් නිකුත් කළේය.




සැකකරු වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ උපුල් ද සිල්වා මහතා සඳහන් කළේ, සිය සේවාදායකයා මේ වන විටත් විශ්‍රාමිකයෙකු බවත්, ඉල්ලීමකට අනුව හුදෙක් ආදායම පිළිබඳ ලිපියක් පමණක් ලබාදී ඇති බවත්ය. අදාළ ලිපිය පදනම් කරගනිමින් යම්කිසි අකටයුත්තක් සිදුවී ඇත්නම් ඊට සැකකරුගේ සම්බන්ධයක් නොමැති බවද හෙතෙම තර්ක කළේය. කෙසේ වෙතත්, සැකකරු මුල් අවස්ථාවේ පටන්ම විමර්ශනවලට සහාය දී ඇති බව සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඔහුට විදෙස් ගමන් තහනමක් පනවමින් රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට නියෝග කළ අතර, විමර්ශනවල ප්‍රගතිය ලබන අගෝස්තු 25 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙසද වැඩිදුරටත් දැනුම් දුන්නේය.