
දිවයිනට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුකොටගෙන ඉදිරි සති කිහිපය තුළ දෛනිකව පැය කිහිපයක ජල කප්පාදුවක් සිදුකිරීමට ඉඩ ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි. එහි සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ මේ දිනවල ජනතාවගේ ජල පරිභෝජනය සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති අතර, ඊට සමගාමීව ජලය සපයන ප්‍රධාන මූලාශ්‍රවල ජල මට්ටම පහළ යාම මෙම තීරණයට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇති බවයි.
මෙම තත්ත්වය හමුවේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු බස්නාහිර පළාතේ මෙන්ම තවත් ප්‍රදේශ ගණනාවකම දවසේ පැය විසිහතර පුරාම අඛණ්ඩව ජලය සැපයීම මේ වන විටත් යම් අභියෝගයක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම භූමියේ උස් ස්ථානවල පිහිටි ප්‍රදේශවලට ප්‍රමාණවත් පීඩනයකින් යුතුව ජලය බෙදාහැරීම දැනටමත් විශාල ගැටලුවක් වී ඇතැයි සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
ජල නිෂ්පාදන ක්‍රියාවලියට මේ දක්වා බරපතළ බලපෑමක් එල්ල වී නොමැති වුවද, ලබුගම සහ කලටුවාන මෙන්ම දිවයින පුරා පිහිටි සෙසු ජලාශවල ජල ධාරිතාවද වේගයෙන් අඩුවෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇත. එබැවින් ඉදිරි කාලයේ පවතින කාලගුණික තත්ත්වයන් සහ ඉහළ යන ජල ඉල්ලුම සමාලෝචනය කිරීමෙන් අනතුරුව, පවතින ජලය නිසි පරිදි කළමනාකරණය කරගැනීම සඳහා දැඩි තීරණවලට එළඹීමට මණ්ඩලයට සිදුවනු ඇත.
දැනට නිල වශයෙන් ජල කප්පාදුවක් ප්‍රකාශයට පත්කර නොමැති වුවත්, ඉදිරියේදී පූර්ණකාලීන ජල සැපයුමක් පවත්වාගෙන යාම අතිශය දුෂ්කර වන බව බලධාරීහු පෙන්වා දෙති. එබැවින් අත්‍යවශ්‍ය නොවන කටයුතුවලට ජලය නාස්ති කිරීමෙන් වැළකී ඉතා අරපිරිමැස්මෙන් එය භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි. යම් හෙයකින් ජල මූලාශ්‍ර සිඳීගොස් සැපයුම මුළුමනින්ම ඇනහිටියහොත් බවුසර් මගින් ජලය බෙදාහැරීමට විකල්ප පියවර සූදානම් කර ඇති අතර, ජලය සම්බන්ධයෙන් පවතින ගැටලු 1939 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද එම මණ්ඩලය මහජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.

