මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය තත්ත්වය සහ ඒ හේතුවෙන් ගුවන් සීමා වසා දැමීම හමුවේ ශ්‍රී ලංකාව තුළ සිරවී සිටින දසදහසක් පමණ වන ඉරාන, ඉරාක ඇතුළු මැදපෙරදිග සංචාරකයන් වෙනුවෙන් කඩිනම් සහන සැලසීමට රජය පියවර ගෙන තිබේ.
මෙම අර්බුදකාරී තත්ත්වය ආරම්භ වූයේ පසුගිය 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව එල්ල කරන ලද ප්‍රහාරයකින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයට ලක්වීමත් සමඟිනි. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය විසින් ගල්ෆ් කලාපයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු 27කට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් කලාපය පුරා දැඩි යුද වාතාවරණයක් නිර්මාණය වී ඇත. මේ හේතුවෙන් බොහෝ ගුවන් සේවා මැදපෙරදිග කලාපයට සිදුකරන ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර, පාකිස්තානය ද සිය ගුවන් කලාපය එළැඹෙන 31 වැනිදා දක්වා අර්ධ වශයෙන් වසා දැමීමට ඊයේ (03) තීරණය කළේය. එතිහාඩ් සහ ගල්ෆ් වැනි ප්‍රධාන ගුවන් සේවා රැසක් ද සිය මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කර තිබේ.
මෙම හදිසි තත්ත්වය මත මෙරට රැඳී සිටින සංචාරකයන්ට සහන සැලසීමේ පියවරක් ලෙස, ඔවුන්ගේ වීසා බලපත්‍ර කිසිදු අමතර ගාස්තුවකින් තොරව දින 14කට දීර්ඝ කිරීමට රජය අවසර ලබා දී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඊයේ (03) නිවේදනය කළේය. සියලුම ජාත්‍යන්තර සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සංචාරක පොලිසියේ ද සහාය ඇතිව ප්‍රධාන සංචාරක කලාප ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද එම අධිකාරිය පවසයි. ඊට අමතරව, ඉදිරි දිනවලදී මෙරටින් පිටව යාමට අපේක්ෂා කරන සංචාරකයන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දීම සඳහා සංචාරක නියෝජිතයන් හරහා විශේෂ තොරතුරු ජාලයක් ද මේ වන විට ස්ථාපිත කර ඇත.
මේ අතර, සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති නවාතැන් හිමියන්, මාර්ගෝපදේශකයන් සහ සංචාරක නියෝජිතයන් ඇතුළු සියලුම සේවා සපයන්නන් වෙත විධිමත් උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ. ගුවන් කාලසටහන් වෙනස්වීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ගුවන් ගමන් ප්‍රමාද වන අවස්ථාවලදී සංචාරකයන්ට හෝටල් කාමරවලින් පිටවීමේදී නම්‍යශීලීව කටයුතු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් එමගින් දන්වා ඇත. සංශෝධිත ගුවන් කාලසටහන්වලට අනුකූලව අමුත්තන්ගේ සංචාරක සැලසුම් සහ ප්‍රවාහන පහසුකම් නිසි පරිදි කළමනාකරණය කරන ලෙස ද එම සේවා සපයන්නන්ට උපදෙස් දී තිබේ.
අර්බුදයට මුහුණ දී සිටින සංචාරකයන්ට අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන සේවා ද්විත්වයක් ද හඳුන්වා දී ඇත. භාෂාමය සහ වෙනත් සැපයුම් අවශ්‍යතා සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ස්ථාපිත සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ 1912 අංකය ඔස්සේ ද, ගුවන් ගමන් තත්ත්වය සහ ගුවන්තොටුපොළ මෙහෙයුම් පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා 1994 අංකය ඔස්සේ ද සේවා සපයනු ලබයි. සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවලට අනුව පසුගිය 28 වැනිදා වන විට ඊශ්‍රායල ජාතිකයන් 3173ක්, ඉරාන ජාතිකයන් 260ක්, සෞදි අරාබිකයන් 185ක්, කුවේට් ජාතිකයන් 69ක්, ඕමාන් ජාතිකයන් 69ක් සහ බහරේන් ජාතිකයන් ඇතුළු පිරිසක් මෙරට සංචාරයේ නිරත වෙමින් සිටියහ.