katunayake-airport-has-fuel-for-50-days

මැදපෙරදිග කලාපය තුළ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් මෙහෙයුම් රැසකට මේ වන විට දැඩි බලපෑම් එල්ල වී තිබේ. වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පෙන්වා දෙන පරිදි, අදාළ කලාපයේ සිවිල් ගුවන් සේවා බලධාරීන්ගේ සහ ගුවන් සමාගම්වල තීරණයකට අනුව ඊයේ (03) දිනයේදී පමණක් ගුවන් ගමන් වාර 205ක් අවලංගු කිරීමට පියවර ගෙන ඇත.

ඒ අතරට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් 107ක් සහ මෙරටින් මැදපෙරදිග බලා පිටත්ව යාමට තිබූ ගුවන් ගමන් 98ක් අයත් වේ.




කෙසේ වෙතත්, මෙම අර්බුදකාරී වාතාවරණය හමුවේ වුවද කටුනායක ගුවන් තොටුපොළ තුළ ඉදිරි දින 50ක කාලයක් සඳහා ප්‍රමාණවත් වන පරිදි ගුවන් යානා ඉන්ධන සංචිතයක් සුරක්ෂිතව පවත්වාගෙන යන බව අමාත්‍යවරයා තහවුරු කළේය. කලාපයේ පවතින ගුවන් ගමන් සීමා කිරීම් සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ ඒ මහතා සඳහන් කළේ, ඕමානය සහ සෞදි අරාබිය සිය ගුවන් අවකාශයන් විවෘත කිරීමට පියවර ගෙන ඇති බැවින් ඇතැම් ගුවන් සමාගම් මේ වන විට ඒ හරහා සිය මෙහෙයුම් කටයුතු සිදුකරන බවයි. එහෙත් අබුඩාබි, ඩුබායි සහ සාජා යන ගුවන් අවකාශයන් සීමිත කාල පරාසයක් සඳහා පමණක් විවෘත කර ඇති අතර, ඒ ඔස්සේ ගමන් කිරීමට අවසර හිමිව ඇත්තේ විශේෂිත ගුවන් යානාවලට පමණක් බව ද හෙතෙම සඳහන් කළේය.

මේ අතර, ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් වෙනත් විවිධ රටවල අතරමංව සිටින විදේශීය සංචාරකයින් විශාල පිරිසක් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බව අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය. ඊට සමගාමීව, මේ වන විට මෙරට රැඳී සිටින සංචාරකයින් එංගලන්තය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල් වෙත ආපසු පිටත් කර හැරීම සඳහා මැදපෙරදිග කලාපය මඟහරිමින් විකල්ප මාර්ග ඔස්සේ විශේෂ ගුවන් යානා යෙදවීමට ද සැලසුම් කර ඇත. මෙම විකල්ප ගුවන් ගමන් මාර්ග භාවිතා කිරීමේදී අමතර පියාසර කාලයක් ගතවන බැවින්, අදාළ ගුවන් යානාවල රැගෙන යන භාණ්ඩ ප්‍රමාණය (Cargo) සීමා කිරීමට සිදුවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.