ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ එළවළු ව්‍යාපාරිකයෙකු ඩීසල් ලීටර් 412ක් බලපත්‍රයකින් තොරව සිය නිවසේ ගබඩා කර තබා ගැනීම සම්බන්ධයෙන් පෙරේදා (02) සවස සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ, දංගොල්ල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.
සැකකාර ව්‍යාපාරිකයා සහ අදාළ ඩීසල් බැරල් දෙක වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මල්වතුහිරිපිටිය පොලීසිය වෙත භාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුරටත් පැවසීය. මෙම ව්‍යාපාරිකයා සතුව ලොරි රථ තුනක් ඇති අතර, ඔහු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් නිතිපතා එළවළු ප්‍රවාහනය කර අලෙවි කරන්නෙකි. එළවළු ප්‍රවාහනය සඳහා යොදාගන්නා තම ලොරි රථ තුනට අවශ්‍ය ඩීසල් ඉන්ධන පිරවුම්හලකින් ලබාගෙන නිවසේ ගබඩා කර තබාගෙන සිටි බවට තොරතුරු අනාවරණය වී ඇත.
මේ බව හෙළිදරව් වූයේ අත්අඩංගුවට ගත් එළවළු ව්‍යාපාරිකයා විසින් සිදුකළ ප්‍රකාශ අනුව බව පොලිස් ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කළේය. සැකකාර ව්‍යාපාරිකයා ඊයේ (03) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.