මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ඉන්ධන අර්බුදයට මුහුණ දීමේ පියවරක් ලෙස, නැවත දැනුම් දෙන තුරු සතියේ සෑම බදාදා දිනයක්ම රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.
ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ 09/2026 දරන නවතම චක්‍රලේඛය මගින් මේ බව නිල වශයෙන් නිවේදනය කර ඇත. ඒ අනුව, බදාදා දිනවලදී සිදු කිරීමට නියමිත රාජකාරි අඟහරුවාදා දිනට යොදාගැනීමට කටයුතු කළ යුතු බව එමගින් අවධාරණය කර තිබේ.යම් හෙයකින් ආයතන ප්‍රධානියෙකුගේ තීරණයකට අනුව යම් නිලධාරියෙකු බදාදා දිනයේ සේවයට කැඳවන්නේ නම්, ඒ සඳහා නිවාඩු දින වැටුප්, අතිකාල හෝ හිලව් නිවාඩු ලබා නොදීමට ද තීරණය කර ඇත. එසේම, බදාදා දිනයේ වසා තබන කාර්යාලවල නිලධාරීන් සති අන්තයේ හෝ රජයේ නිවාඩු දිනවල අතිකාල හෝ නිවාඩු දින වැටුප් ගෙවීමේ පදනමින් සේවයට කැඳවීම ද මෙමගින් තහනම් කර තිබේ. කෙසේ වෙතත්, තාක්ෂණික පහසුකම් පවතින ආයතනවල නිලධාරීන්ට සේවා ස්ථානයට නොපැමිණ නිවසේ සිට රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකසා ගැනීමට ආයතන ප්‍රධානීන්ට අවසර ලබා දී ඇත.
හදිසි අවශ්‍යතාවයක් මත සෙනසුරාදා, ඉරිදා හෝ රජයේ නිවාඩු දිනයකදී නිලධාරීන් සේවයට කැඳවීමට අවශ්‍ය වුවහොත්, ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්, පළාත් ප්‍රධාන ලේකම් හෝ අදාළ ආයතන ප්‍රධානියාගේ පූර්ව අනුමැතිය ලබාගත යුතු වේ. එලෙස නිසි අනුමැතිය සහිතව සේවයට කැඳවන නිලධාරීන්ට අතිකාල සහ නිවාඩු දින වැටුප් ලබා දීමට බාධාවක් නොමැති බව චක්‍රලේඛයේ දැක්වේ. මීට අමතරව, මෑතකදී ඇතිවූ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් හටගත් ආපදාවලට අදාළ රාජකාරි සඳහා අවශ්‍ය නිලධාරීන් කැඳවීමේ පූර්ණ බලය අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පවරා තිබේ.
මෙම නව රෙගුලාසි මගින් රජයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් ඇති නොවිය යුතු බව රජය අවධාරණය කරයි. අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනයක් බදාදා දිනයේ ද විවෘතව තැබිය යුතු යැයි අදාළ ප්‍රධානීන් තීරණය කරන්නේ නම්, එම ආයතන සඳහා එය සාමාන්‍ය රාජකාරි දිනයක් ලෙස සැලකේ. එසේම, දැනටමත් සේවා මුර ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන සඳහා මෙම චක්‍රලේඛයේ විධිවිධාන අදාළ නොවන බව ද සඳහන් වේ. අධිකරණ ක්ෂේත්‍රයට සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් ආයතනවල නිලධාරීන් කැඳවීම සම්බන්ධයෙන් අදාළ කොමිෂන් සභා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් වෙනම උපදෙස් ලබා දීමට නියමිත අතර, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අදාළ ගැටලු මූල්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත විසඳාගත යුතු වේ.
රාජ්‍ය ආයතන තුළ උත්සව, සම්මන්ත්‍රණ වැනි දෑ සංවිධානය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට ද මෙමගින් උපදෙස් දී තිබේ. රාජ්‍ය වියදම් කළමනාකරණය කරගැනීම සඳහා විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කර ඇති 04/2022 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ උපදෙස් දැඩිව අනුගමනය කළ යුතු බවට ද රජයේ නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම් දී ඇත.



