අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මිහින් ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ඊයේ (16) කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. රාජ්‍ය මුදල් පාඩු වන පරිදි ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් ගුවන් යානා සහ කාර්ය මණ්ඩලය ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.
කොළඹ 08, ග්‍රේනියස් පාරේ පදිංචි සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර ඇත්තේ, 2007 වසරේදී මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදුකිරීම තුළින් අල්ලස් පනතේ දැක්වෙන 'දූෂණය' නමැති වරද සිදුකර ඇතැයි චෝදනා කරමිනි.
2007 ජනවාරි මස 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වූ කාලය තුළ දී, මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ විත්තිකරු, A-320-200 වර්ගයේ ගුවන් යානයක් සහ එහි කාර්ය මණ්ඩලය බදු පදනම මත ලබා ගැනීම සඳහා නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකරමින්, තමාට හෝ වෙනත් පාර්ශවයකට වාසි සැලසීමේ අරමුණින් අධ්‍යක්ෂ මණ්ඩලයට ටෙන්ඩර් පත්‍රිකා ඉදිරිපත් කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.
ඔහුගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් 'බෙස්ට් එයාර් ලයින්' ගුවන් සමාගමට වාසි සැලසී ඇති බවට සඳහන් වේ. තවද, 2007 මාර්තු මස 09 වැනිදා, මිහින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කරමින්, A-321-131 වර්ගයේ ගුවන් යානයක් සහ එහි කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 267,100/-ක "පර්ඩියම්" දීමනාවක් ගෙවීමට 'බෙස්ට් එයාර් ලයින්' ගුවන් සමාගම සමඟ ගිවිසුම්ගත වීමෙන් රජයට පාඩුවක් සිදුකර ඇති බවට විත්තිකරුට චෝදනා එල්ල වී ඇත. මෙම ක්‍රියාවද අල්ලස් පනත යටතේ දැක්වෙන "දූෂණය" නමැති වරදක් බව අල්ලස් කොමිසම පවසයි.
1994 අංක 20 දරන පනතින් සංශෝධිත අංක 11 දරන අල්ලස් පනතේ 70 වැනි වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව චෝදනා හතරක් යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබේ.

