a-couple-was-attacked-with-a-sword-and-their-motorcycle-was-stolen

දංකොටුව ප්‍රදේශයේදී තරුණයෙකුට සහ ඔහුගේ පෙම්වතියට කඩුවලින් පහර දී තුවාල සිදුකොට යතුරුපැදියක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව 22 හැවිරිදි අඹුසැමි යුවළක් හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 26 වැනිදා සවස වෙන්නප්පුව ලුණුවිල කිරිමැටියාන හන්දියේදී මොවුන් අත්අඩංගුවට පත්ව ඇති අතර, එම අවස්ථාවේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 22යි මිලිග්‍රෑම් 260ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.




මෙම සැකකාර අඹුසැමි යුවළ, මේ වන විට ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟවී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘දංකොටුවේ අවා’ නමැත්තා සමග සමීප සබඳතා පවත්වන බවට පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ. අදාළ යතුරුපැදි කොල්ලය ද එම ජාවාරම්කරුගේ මෙහෙයවීම මත සිදු කර ඇති බවට සැක කෙරෙන අතර, මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම කොල්ලකෑමට ලක්ව ඇත්තේ 19 හැවිරිදි තරුණයෙකු සහ ඔහුගේ පෙම්වතියයි. අදාළ තරුණයා සිය යතුරුපැදිය විකිණීම සඳහා පළ කරන ලද දැන්වීමකට අනුව, එය මිලදී ගැනීමේ මුවාවෙන් පුද්ගලයෙකු විසින් ඔහුට දුරකථනයෙන් අමතා දංකොටුව කටවෙවිල්ල වැව අසලට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. ඒ අනුව තරුණයා සිය පෙම්වතිය ද සමඟ යතුරුපැදි දෙකකින් පසුගිය 22 වැනිදා රාත්‍රී කාලයේදී අදාළ ස්ථානයට ගොස් ඇත. එහිදී වැව ඉස්මත්තේ සැඟවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔවුන්ට කඩුවලින් පහර දී තුවාල සිදු කර, රුපියල් හාර ලක්ෂ විසි අටදහසක් පමණ වටිනා තරුණයාගේ යතුරුපැදිය කොල්ලකාගෙන පලාගොස් තිබේ.




කඩු ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණයා සහ තරුණිය මේ වන විට මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිති. අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඔවුන්ව වෙන්නප්පුව සහ දංකොටුව පොලිස් ස්ථාන වෙත භාරදීමට පියවර ගෙන ඇත. වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි රෝහණ, හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් පෙරේරා සහ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී අසේල පුල්වංශ යන මහත්වරුන්ගේ උපදෙස් හා මෙහෙයවීම යටතේ දංකොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.