the-pharmacist-who-helped-kill-two-women-by-giving-them-drugs-and-making-them-unconscious-was-arrested

මඩකලපුව, වව්නතිව් ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට මත්ද්‍රව්‍ය ලබා දී සිහිසුන් කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, එම අපරාධය සඳහා යොදාගත් ඖෂධ සැපයූ බව කියන ෆාමසි හිමිකරුවෙකු මඩකලපුව පළාත් විමර්ශන කණ්ඩායමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.




මෙම අමානුෂික පැහැරගැනීම, ඝාතනය සහ මංකොල්ලකෑම සම්බන්ධයෙන් මීට පෙරද සැකකරුවන් කිහිප දෙනෙකු නීතියේ රැහැනට කොටු කර ගැනීමට පළාත් අපරාධ විමර්ශන අංශය සමත් විය. ඒ අනුව, සෘජුවම ඝාතන ක්‍රියාවලියට සම්බන්ධ වූ පුද්ගලයින් තිදෙනෙකු සහ ඔවුන් විසින් කොල්ලකන ලද රන් ආභරණ සන්තකයේ තබාගෙන සිටි ව්‍යාපාරිකයින් දෙදෙනෙකු මේ වන විටත් අත්අඩංගුවේ පසුවේ.

අධිකරණ නියෝග මත දැනට රඳවාගෙන ප්‍රශ්න කිරීම්වලට ලක් කෙරෙන ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තිදෙනාගෙන් අනාවරණය වූ තොරතුරු මත විමර්ශන තවදුරටත් පුළුල් කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස, පසුගිය 28 වැනිදා එක් සැකකාර කාන්තාවකගේ නිවසක භූමියේ වළ දමා තිබියදී කාන්තාවන් සිහිසුන් කිරීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන ඖෂධ තොගයක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය.




අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් පාපොච්චාරණය කර ඇත්තේ අදාළ ඖෂධ වත්තල ප්‍රදේශයේ පිහිටි ෆාමසියකින් මිලදී ගත් බවයි. මෙම තොරතුරු තහවුරු කර ගැනීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ පළාත් විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් මීගමුව ප්‍රදේශයට ගොස් අදාළ වත්තල ෆාමසියේ හිමිකරු සිය භාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත් වූ ෆාමසි හිමිකරු ඊයේ (30) දිනයේදී මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. තවද, සිද්ධිය සම්බන්ධයෙන් වඩාත් පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමේ අරමුණින් ඔහු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවශ්‍ය අධිකරණ නියෝග ලබා ගැනීමට පොලිසිය මේ වන විට කටයුතු කරමින් සිටියි.