
දහම් පාසල් සිසුවියකට වසර ගණනාවක් තිස්සේ වරින් වර ලිංගික අතවර සිදුකිරීමේ චෝදනා සම්බන්ධයෙන් සැකකාර විහාරාධිපති හිමිනමකට එරෙහිව පවතින නඩුව ලබන සැප්තැම්බර් මස 9 වැනිදා විභාගයට ගැනීමට කැකිරාව මහෙස්ත්‍රාත් උදාරි ගුණසේකර මහත්මිය විසින් නියෝග කර තිබේ.
මෙම නියෝගය ලබා දුන්නේ, අදාළ නඩුව කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය. එහිදී, පැමිණිල්ල වෙනුවෙන් සුර්ගස්නැව පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක රණවීර මහතාගේ උපදෙස් මත සරයන් සුනිල් මහතා පෙනී සිටි අතර, විත්තිකාර සුගස්සැව මුදුන්ගොඩ ජයසුමනාරාමාධිපති කරගහල්පත සුදර්ම හිමිනම වෙනුවෙන් නීතිඥ රංජිත් රණසිංහ මහතා සහ නීතිඥ නිසංසලා විජේසේකර මහත්මිය පෙනී සිටියහ. අගතියට පත් වින්දිත දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායක මහතා ද අධිකරණයට ඉදිරිපත් විය.
විත්තිකාර හිමිනමට එරෙහිව ගොනු කර ඇති අයුතු ඇතුළුවීම සහ ලිංගික අතවර සිදු කිරීම යන චෝදනා අධිකරණය හමුවේ කියවා දීමෙන් අනතුරුව, තමන් එම සියලු චෝදනාවලින් නිවැරදි බවට විත්තිකාර හිමිනම වෙනුවෙන් නීතිඥ රංජිත් රණසිංහ මහතා මඟින් අධිකරණයට දැනුම් දෙන ලදී.