
ආදිවාසී සංස්කෘතිය විකුණාගෙන කමින් දඹාන ආදිවාසී ගම්මානයට පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන් රවටා මුදල් ගරාගන්නා වංචනික කණ්ඩායමක් පිළිබඳව ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් විසින් විශේෂ අනාවරණයක් සිදු කර තිබේ. දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ආදිවාසී පරම්පරාවේ ගම්මානය දැක බලා ගැනීමට සහ අධ්‍යයනය කිරීමට රටේ නන් දෙසින් පැමිණෙන පිරිස් ඉලක්ක කර ගනිමින් මෙම ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වන බව හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම වංචනික පිරිස මාවරගල ආරණ්‍ය සේනාසනය ප්‍රදේශයේදී සහ දඹාන හන්දියේදී පැමිණෙන වාහනවලට අත දමා බලහත්කාරයෙන් ඒවා නවත්වාගෙන වාහනවලට ගොඩවීමට උත්සාහ කරන බව වාර්තා වේ. මඟ පෙන්වන්නන් සහ භාෂා පරිවර්තකයන් ලෙස පෙනී සිටින මොවුන්, ගම්මානයට යාමට පාර පෙන්වන මුවාවෙන් සංචාරකයන් නොමග යවා විවිධ බොරු ප්‍රකාශ කරමින් විශාල වශයෙන් මුදල් අය කිරීමට කටයුතු කරයි. වර්තමානයේ තාක්ෂණය දියුණු බැවින් ජංගම දුරකථන හරහා මාර්ගය සොයා ගත හැකි බවත්, මෙලෙස බලහත්කාරයෙන් වාහනවලට නැගීමට උත්සාහ කරන පුද්ගලයන්ට නොරැවටෙන ලෙසත් ආදිවාසී නායකයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සංචාරකයන් රවටා මුදල් ඉපැයීමේ අරමුණින් මොවුන් සීනි කලවම් කළ පැණි, මී පැණි ලෙස අලෙවි කරන අතර ආදිවාසී නැටුම් පෙන්වන බව පවසා අසාධාරණ ලෙස මුදල් ඉල්ලීම් සිදු කරයි. මෑතකදී කොළඹ ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් "කදිරා" නමින් හඳුන්වා ගත් බීමත් පුද්ගලයෙකුට හසුවී වංචාවකට ලක් වූ සිද්ධියක්ද වන්නිලා ඇත්තන් සිහිපත් කළේය. ආදිවාසී නායකයා පෙන්වන බව පවසා වෙනත් පුද්ගලයන් පෙන්වීම සහ රජය මගින් පාලනය වන ආදිවාසී කෞතුකාගාරය පිළිබඳව වැරදි මත ප්‍රචාරය කිරීමද මෙම කණ්ඩායම විසින් සිදු කරනු ලබයි.
දඹාන ආදිවාසී ගම්මානය නැරඹීම සඳහා පැමිණෙන කිසිදු අයෙකුගෙන් මුදලක් අය නොකරන බවත්, ඕනෑම අයෙකුට නිදහසේ පැමිණ සංවරව ගම්මානය නැරඹීමට අවසර ඇති බවත් නායකතුමා අවධාරණය කළේය. ගම්මානයේ පවත්වාගෙන යන කෞතුකාගාරය නැරඹීම සඳහා වැඩිහිටියකුගෙන් රුපියල් 50ක් සහ පාසල් දරුවකුගෙන් රුපියල් 20ක් වැනි මුදලක් අය කරනු ලබන්නේ එම ස්ථානයේ නඩත්තු කටයුතු සඳහා පමණි.
ගම්මානය නැරඹීමට පැමිණෙන අයට යම් මඟ පෙන්වීමක් හෝ තොරතුරක් අවශ්‍ය නම් ආදිවාසී කෞතුකාගාරයේ සේවක මණ්ඩලය දැනුවත් කරන ලෙස ඉල්ලීමක් කෙරේ. සාමාන්‍යයෙන් සංචාරකයන් වෙනුවෙන් සංස්කෘතික අංග ඉදිරිපත් කිරීමේදී ගමේ තරුණයන් ස්වෙච්ඡාවෙන් ලබා දෙන මුදලක් භාර ගන්නා නමුත්, බලහත්කාරයෙන් විශාල මුදලක් අය කිරීමක් සිදු නොවන බව ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් වැඩිදුරටත් සඳහන් කළේය.